https://goo.gl/qWRZqc

Sunday, September 10, 2017

මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද?

*යුග දිවියට බුදුදහමින් උපදෙස්



  මළමිනියක් හා 
    දෙව්දුවක හා    ජීවත් වෙනවාද?




          බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සිදුවීමක් ගැන සදහන්ව තිබේ. දිනක් සක්දෙව් රජ විසින් මනු ලොව දෙසට වන්දනා කරනු ලබයි. සිය රියදුරු මාතලී දිව්‍ය පුත්‍රයා මේ පිළිබද කළ විමසීමකදී සක් දෙවිදු ප්‍රකාශ කළේ මෙවැන්නකි. 

               "යේ ගහට්G පු[a[කරා 
               සීලවතෝ උපාසකා 
               ධම්මේන දාරං පොසන්කී 
               තං නමස්සාමි මාතලී"

          මාතලී යම්කිසි ගිහි උපාසකයෙක් කුසල් දහම් රැස්කරමින් තම භාර්යාව ධර්මානුකූලව පෝෂණය කරන්නේ නම් මම ඔහුට නමස්කාර කරමි...." යන්න එහි අදහසයි.
         මෙයින් පෙනී යන්නේ බෞද්ධ ගිහි උපාසකයා යනු විවාහක තැනැත්තෙකු ලෙස පිළිගත් බවයි. බෞද්ධ ඉගැන්වීම් අතර විවිධ සූත්‍ර දේශනාවල ගිහියා යනු විවාහක පුද්ගලයකු සේ සලකා කළ දේශනා දක්නට ලැබේ. සිඟාලෝවාද, මංගල, පරාභව,වසල වැනි සූත්‍රවල පැහැදිලි කර ඇති ගිහි විනය හා යුතුකම්, වගකීම් පද්ධතිය වලංගු වන්නේ විවාහක ගිහි උපාසකයාටයි. අනොන්‍ය විශ්වාසයෙන් හා ආදරයෙන් බැඳී සිටින විට ප්‍රේමණීය යුවතිපතියන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. නකුලමාතා - නකුලපිතා එවැනි යුවලකි. අවිවාහක හෙවත් අඹූසැමි සබඳතාවන්ගෙන් තොරව ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී පිළිවෙතක් ලෙස පිළිගන්නා බුදුසමය, ස්වදාර සන්තුෂ්ටියෙන් ගතකරන ජීවිතය ගෘහස්ථ බ්‍රහ්මචරියාව ලෙස පිළිගනී. තම බිරිඳගෙන් පමණක් සතුටු වන, පරදාර සේවනයෙන් තොරවූ ගිහි උපාසකයා ගත කරන්නේද "බ්‍රහ්මචාරී දිවි පෙවතකි" යන්න මින් තහවුරු වෙයි. එය ගිහි බඹසර නම් වේ. 
 මේ අනුව විවාහය යනු යහපත් මිනිසෙක් හා යහපත් ගැහැනියක් එක්වීමෙන් ගොඩනගන සදාචාර සම්පන්න ප්‍රතිපත්ති පිරීමක් බව පිළිගත හැකිය. එය සැමියා වෙනුවෙන් බිරිඳ විසින් පුරනු ලබන පතිවත හා සිය බිරිය වෙනුවෙන් සැමියා විසින් පුරනු ලබන පතිවත විවාහයක උදාරතර අරුත සනිටුහන් කරයි. විවිධ අදහස්, සිතුම් පැතුම් සහිත දෙදෙනෙක් විවාහය නැමති රැහැනින් එක්වී එක් අරමුණක ගමන් කිරීම විශිෂ්ට වූ ප්‍රතිපදාවකි. බුදු සමය වැනි උදාරතර ආගමක් එම ප්‍රතිපදාවේ සැබෑම යථාර්ථය සමාජයට තිලිණ කරයි. යහපත් බිරිඳක් හා සැමියෙක් එකට වාසය කිරීමේදී ඉස්මතුවන විවිධ ගැටලූ තම යුග දිවියට බාධකයක් බවට පත් කර නොගනී. ඔවුනොවුන් බුද්ධිමත්ව සාකච්ඡා කොට එම අභියෝග ජයගනී. මේ අනුව විවාහයේදී අඹුසැමියන්ගේ සිතුම් පැතුම් වල සමාන අසමානකම් සැලකිල්ලට ගෙන සතර ආකාරයේ පවුල් සංස්ථාවක් ගැන බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දෙයි. එනම්,
1. මළමිනියක් මළමිනියක් හා විසීම 
2. මළමිනියක් දෙව්දුවක හා විසීම 
3. දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම 
4. දේව පුත්‍රයෙක් මළමිනියක් හා විසීම 
       මෙහිදී මළමිනියක් ලෙස අර්ථ දක්වා ඇත්තේ අදැහැමි, උදාසීන පහත් ගති සිරිත් ඇති ගැහැනුන් හා මිනිසුන්ය. සදාචාර සම්පන්න විනීත ගති පැවතුම් ඇති ස්ත්‍රී පුරුෂයන් දේව යන්නෙන් අදහස් කරයි. බිරිඳත්, සැමියාත් දෙදෙනාම ප්‍රගතිශීලී ගති පවතුමින් තොරව උදාසීනව හා දුසිරිතට බරව ජීවිත ගත කරන්නේ නම් ඒ පවුල් සංස්ථාව දියුණුවට පත් නොවන්නා සේම අතෘප්තිමත් හා අසහනයෙන් යුතුව කල්ගත කිරීමට සිදුවේ. ඉවසීමෙන් තොරව ජීවන ගැටලූ හිස මත රුවාගෙන අඩදඹර හා කලකෝලාහල වලින් යුතුව පවුල් ජීවිත ගත කරන අඹුසැමියෝ විවාහය නැමති උතුම් පිළිවෙත ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විනාශයට පත් කර ගනී. දේව පුත්‍රයෙක් බඳු සැමියෙකු දෙව්දුවක් වැනි බිරිඳක් සමග ගත කරන සුන්දරවූ පුණ්‍යවන්ත ජීවිතය මුළුමහත් මානව සමාජයටම ආශිර්වාදයකී. ඔවුන්ගෙන් බිහිවන දරු සම්පත අනිවාර්යයෙන්ම දේව දූතයන්සේ ලෝකය සුවපත් කරන්නට හුරුපුරුදු වෙති. යහපත් යුග දිවියකට "බිරිඳ" යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. බිරියගේ ඇතැම් ගති පැවතුම් සැමියාගේ චර්යාවන් වුවද යහපත් හා ගුණාත්මක බවකින් පවත්වා ගැනීමට සමත් වෙති. එවැනි භාර්යාවන් සත් දෙනකු ගැන බුදුදහමේ දැක්වෙන්නේ මෙසේය.
1. වධක සම (වධකයකු වැනි බිරිඳක්) 
2. චෝරි සම (සෙරක් වැනි බිරිඳක්) 
3. අය්‍ය සම (අධිපනියක වැනි බිරිඳක්) 
4. මාතු සම (මවක් වැනි බිරිඳක්) 
5. භගිනි සම (නැගණිය වැනි බිරිඳක්) 
6. සබී සම (මිතුරියක වැනි බිරිඳක්) 
7. දාසි සම (දාසියක වැනි බිරිඳක්) 

මෙයින් මුලින්ම දැක්වෙන තුන්දෙනා ඉතාමත් අයෝග්‍ය බවත් සෙසු සිව් දෙනා යහපත් බවත් පෙනී යයි. ලිංගිකත්වය ඇතුළු ලෞකික ආශාවන්ගේ ආකර්ෂණය ස්ත්‍රීතත්වය හා පුරුෂ භාවය සමීප කරවන්නේ ලෝකස්වභාවයට අනුවයි. එම මනෝ මූලික අවශ්‍යතා හා ආකර්ෂණයන් පහව ගිය විට පහළ වන ප්‍රතික්කූලතාවය බොහෝ විට අනෙකාගේ ගුණ මකා දොස් ඉස්මතු කරයි. ජීවිතයේ සැබෑ ස්වභාවය හා සිය සහකරුගේ හෝ සහකාරියගේ අගය වටහා ගත් තැනැත්තෝ ඔවුනොවුන්ගේ අවබෝධය හා විශ්වාසය පදනම් කරගත් විශිෂ්ට වූ විවාහ දිවියක් ගත කරති.

Friday, September 1, 2017

අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වයෙන් ලිංගිකත්වය

ලිංගිකත්වය පිළිබඳ ව බුදුසමයෙන්...

පශ්චාත්නූතනවාදය සහ බුදුසමය ලිංගිකත්වය පිළිබඳ ව දරන මත සැසඳීමකි මේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය
රළුවේ පද්මසිරි හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය

සමාජයක සදාචාරය, ඇගැයුම් බොහෝ විට නිර්මාණය වන්නේත් සමාජය තුළ සුරක්ෂිත ආකාරයකින් ක්‍රියාත්මක වන්නේත් ඒවා ක්‍රියාත්මක වන සමාජ - සංස්කෘතික පදනමේ ඇති නව ප්‍රවණතා සමඟ පරිවර්තනවලට, වෙනස්කම්වලට ලක් වෙමිනි. එසේ වෙනස් නොවනසුලු, විශ්වීය අගයකින් යුත් සදාචාරාත්මක ඇගැයුම් පද්ධතියක් සකස් කිරීම කළ යුතු වන්නේ නම් එසේ කළ හැකි වන්නේ පළමු ව එවැනි ආචාරධර්මවල පදනම නිවැරැදි ව සකස් කිරීමෙන් බව බෞද්ධ විද්වතුන්ගේ අදහස යි. ලිංගික සම්බන්ධතා අහම්බයක් හෝ සමාජයක අනවශ්‍ය දෙයක් බව බුදුසමය නොපිළිගනී.

දෙවියන් පිනවීමට ලිංගික කාර්යයේ නිරත විය යුතු බවටත් ආත්මීය තෘප්තිය එමගින් ලබාගත හොත් පාපයට (Sin) හිමිකරුවකු බවට පත් වන බවටත් ඇති මධ්‍යතන යුරෝකිතු අදහස සමඟ බුදුසමයේ සබඳතාවක් නැත. ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.

“කථංහි නාම සත්තෝ සත්තස්ස ඒවරූපං කරිස්සති...”යනුවෙන් පවසමින් එම ක්‍රියාවට සම්බන්ධ නොවූ පිරිස එම ලිංගික චර්යාවේ කොටස්කරුවන්ට ගරහන්නට, පහර දීමට, හිරිහැර කිරිමට ආරම්භ කරයි. ඇතැම් විට ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි හෝ සමාජ සම්මතයට ගරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව අනෙක් පිරිස මෙම හැසිරීමට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා ද විය හැකි ය.

එහෙත් සමාජ සම්මත වෙනස් වීම්, අගයන් වෙනස් වීම් තුළ විවිධ ප්‍රතිජානාත්මක හෙවත් යහපත් ඇගැයුම් බිහි වේ නම් බුදුසමය ඒවා පිළිගනී. අධම්ම ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ හෙවත් යහපත් දේ බවට තවත් කලකදී පත් විය හැකි ය. එය පුද්ගල පැවැත්මට හානිකර නො වේ. නම් යහපත් සේ පිළිගත යුතු වේ.

චක්කවත්ති සීහනාද සූත්‍රය සදාචාර ඇගැයුම් පරිවර්තනය වීමේ සීමා ඉක්මවා යන ආකාරයත් එවිට සමාජය නැවතත් තිරශ්චීන අවධියකට ප්‍රවිෂ්ට වන ආකාරයත් විග්‍රහ කරයි. සදාචාරය පිරිහීමෙන් පසු මව, පියා, නැන්දා, මාමා, පුතා ආදි සංඥා ඉවත් වී, ලිංගිකත්වයට ප්‍රධාන තැන දෙන යුගය බිහි වන සමයක් ගැන කරුණු ඉදිරිපත් කරන බුදුරදුන් ඒවා සාධනීය ලක්‍ෂණ සේ හඳුනා නොගනී. ලිංගික ඇගැයුම් මිනිස් අවශ්‍යතා අනුව පරිණාමය විය යුතු බව සැබෑ ය. එහෙත් මාතෘත්වය, පිතෘත්වය වැනි උදාර ඇගැයුම් කාමයෙන්, රාගයෙන් වැසී යයි නම් බුදුරදුන් එය හඳුනාගන්නේ පිරිහීම් කාරකයක් ලෙසින් බව එම සූත්‍රයෙන් අනාවරණය වෙයි:

“දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාතිවා මාතුලානිතිවා ආචරිය භරියාතිවා ගරූනං දාරූතිවා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේලකා කුක්කුට සුකර සෝන සිගාලා...”

පශ්චාත්නූතන චින්තනය ද තිරශ්චීන ලිංගික සබඳතා අනුමත කිරීමක් සිදු නො කරයි. බුදුසමය එම චින්තනයට වඩා ඉදිරි වැඩ පිළිවෙළක් සදාචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි. මිනිසාගේ ජීවිතය ‘සාදාචාර’ රාමුවකට යටපත් කිරීමේ සිරගත කිරීමේ අරමුණක් බුදුසමය තුළ අප්‍රකට ය. බුදුසමයට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය තුළ එසේ ම මිනිස්කමේ සීමා තුළ සෑම සබඳතාවක් ම රඳවාගෙන ජීවිතයට නිවැරදි දෘෂ්ටියක් ලබාදීම යි.

පශ්චාත්නූතන චින්තකයන් විසින් ලිංගිකත්වය පිළිබඳ ගෙනෙන ප්‍රබල තර්කයක් ඇත. ඔවුන්ගේ විග්‍රහයට අනුව ලිංගිකත්වය පිළිබඳ සකස් වී ඇති නීති-රීති සේ ම ආකල්ප ද අනෙක් බොහෝ දේ පරිදි ම මිනිසා විසින් සිය සංස්කෘතික අංගයක් සේ සකස් කරගෙන ඇත. එනිසා එවන් සංස්කෘතික නිර්මාණයක් වෙනස් නොකළ යුතු පූජනීය අංගයක් ලෙසින් ඔවුහු නොපිළිගනිති. මෙම කරුණ සමඟ බුදුසමය ද එකඟ වෙයි. එසේ ම පශ්චාත් නූතනවාදීන්ට අනුව මිනිසාගේ ලිංගිකත්වය, ලිංගිකකාරණය සහ ලිංග භේදයන්, එසේ ම ඒ හා බැඳී පවතින දේශපාලන බල ව්‍යූහයත් ලිංගික සංකේත කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ද ස්වාභාවික වූවක් නො වේ.

එය සංස්කෘතික වූවකි. මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය තවතවත් වර්ධනය වන, අධිකාරීමය ලක්‍ෂණ තම පෞරුෂය තුළ වැඩෙන ලක්‍ෂණ බුදුසමය අගය නො කරයි. ලිංගිකත්වය පිළිබඳ පවතින සම්බන්ධතාව විසංයෝජනය (deconstruction) කිරීමට බුදුසමය එරෙහි නො වේ. අනිත්‍යය පිළිබඳ බෞද්ධ ආකල්පය මෙම පරිවර්තන කාර්ය විෂයයෙහි ද ආදේශ කළ හැකි ය. ප්‍රත්‍ය සම්බන්ධතාව වෙනස් කළ විට ඕනෑ ම තත්ත්වයක ප්‍රතිඵලය වෙනස් වීම අවශ්‍යයෙන් ම සිදු වෙයි. බුද්ධ කාලීන රහතන් වහන්සේ සමාජය තුළ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම අන්තර්ගත විය.

ථේර ගාථා හා ථේරි ගාථාවලින් මනාව පැහැදිලි වන සත්‍යයක් ඇත. එම සමාජයේ ව්‍යූහය නිර්මාණය වූයේ ලිංගික සංකේතමය බලය කේන්ද්‍ර කොටගෙන නො වේ. සම්මතයන් ලෙස ඇතැම් නම් සහ තනතුරු නියෝජනය කිරීම පමණක් එහිදී සිදු විණි. නව වෙනස්කම් පෞරුෂ තුළ හෝ සමාජ ව්‍යූහය තුළ සිදු වන විටදී එතෙක් පැවැති සදාචාරාත්මක ඇගැයුම් එම වෙනස්කම්වලට නොගැළැපේ නම් ඒවා වෙනස් වෙයි. එනිසා යම් සමාජයක පවතින සදාචාරය යනු වෙනස් නොවන හෝ වෙනස් නොකළ යුතු අනන්‍ය ලක්‍ෂණ සහිත ස්වාභාවික සත්‍යතාවක් නො වේ. සංස්කෘතික නිර්මාණයක් වන සදාචාරය පවතින තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ඔසවා තැබීමට මිනිසාට ශක්‍යතාව ඇත.

එහෙත් මෙහිදී සැලැකිලිමත් විය යුතු කරුණක් වන්නේ නව පරිවර්තන තුළින් නිර්මාණය කරගනු ලබන සදාචාරය මිනිස් සංහතියේ ප්‍රගතියක් නියෝජනය කරන්නේ ද එසේ නැත් නම් පැවති තත්ත්වයට වඩා ප්‍රාථමික තත්ත්වයකට ගමන් කොට ඇත් ද යන කරුණ යි. ශිෂ්ට සම්පන්නභාවය ඉහළ නැංවීමට මානව සමාජයට අලුතින් නිපදවෙන සදාචාරය ප්‍රතික්‍ෂේප කිරීම බුදුසමය සිදු නොකරන බව මෙහිදී ප්‍රකට ව පෙනෙන කරුණකි.

බුදුසමය මිනිසා හඳුනාගන්නේ ලෝකයේ පාලකයා ලෙසින් නො ව, සුවිශේෂ බුද්ධියක් සහිත පරිපූර්ණත්වයට පත් වීමේ වඩා ශක්‍යතාවක් සහිත ජීවියකු ලෙසිනි. මිනිසා ලිංගිකත්වයට විසංවාදී හෝ පරිබාහිර අංශයක් නො වේ. යම් යම් ජෛවීය සබඳතා සහ මානසික ආකල්ප සමඟ ලිංගිකත්වයේ ඇති ප්‍රබලත්වය බුදුසමයෙහි පිළිගැනේ. මහායාන බුදුසමයේ වජ්‍රායාන හා තන්ත්‍රයාන වැනි ඇතැම් සම්ප්‍රදායයන්හිදී නම් සම්භෝගයෙන් සුරතාන්තයට පත් වීම විමුක්තියට යම් යම් අංශ මඟින් සම වන බව පිළිගැනේ. එසේ ම සෙන් සම්ප්‍රදාය තුළදී මිනිසා පරාර්ථකාමී වීමේ ප්‍රබල අවස්ථාවක් ලෙස සංසර්ගය හඳුනාගැනේ.මිනිසා විසින් මිනිසත් බව ආරක්ෂා කළ යුතු බව බෞද්ධ විග්‍රහය යි.

එහෙත් ලිංගිකත්වය අමනුෂ්‍ය කාර්යයක් බව ඉන් ගම්‍ය නො වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිවැරැදි වන විට බුදුසමය ‘ධම්මික’ හෙවත් නිවැරැදි ලිංගික සමවායක් බව පිළිගනියි. ඇතැම් විට එම දර්ශනය ප්‍රභවය වූ සංස්කෘතියට සාපේක්ෂ ව තිබූ ඇගැයුම් සමඟ සමගාමී ව මෙවැනි ආකල්පයන් ප්‍රකාශ වූවා ද විය හැකි ය. ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන සබඳතා අතර ස්පර්ශය හෙවත් කායික සබඳතාව ඉතා ප්‍රබල භාවයක්, චිත්ත වේගයක් බව ‘ඉත්ථි බන්‍ධන’ හා ‘පුරුෂ බන්‍ධන’ සූත්‍ර මඟින් හෙළි කරයි.

‘තේ භික්ඛවේ සත්තා සුබද්ධා යේ ඵස්සේන බද්ධාණි...”

එහෙත් මෙම විග‍්‍රහය තුළ කුමනාකාරයක හෝ ස්ත්‍රී ආධිපත්‍යයක් හෝ පුරුෂාධිපත්‍යයක් ප්‍රකාශ නොවේ. මනුෂ්‍යත්වයේ හෝ පෘථග්ජන ජීවිතයේ භාවමය අංශයේ ස්වභාවය කුමක් ද යන්න පොදුවේ ප්‍රකාශ කරයි. බුදුසමය මිනිස් ලිංගික ක්‍රියා විෂයයෙහි ප්‍රතිවිරෝධතාවක් නොදක්වන බව මෙම එක් පැහැදිලි කිරීමකින් වුව ද පැහැදිලි ය.

බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.

“තිස්සෝ ඉථියෝ මනුස්සිථි, අමනුස්සිථි තිරච්ඡාන ගනිථි තයෝ උභතෝ ඛ්‍යඤ්ජනකා මනුස්ස...අමනුස්ස...තිරච්ඡානගත... තයෝ පණ්ඩකා මනුස්සා... අමනුස්සා... තිරච්ඡානගතා...”

එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 - 94 - 95 - 69 - 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.

ලිංගික කාර්යයක කොටස්කරුවකු වීම සහ එමගින් ඇවැතකට පත් වීමට නම් පහත සඳහන් ගුණාංගයන් එකක් හෝ අනුමත කිරීම හෝ ඉන් තෘප්තිමත් වීම හෝ ඒවා ඉවසීම ප්‍රමාණවත් බව බුද්ධ දේශනය යි.

“සෝ පවේසනං සාදියති. පවිට්ඨං සාදියති. ඨිතං සාදියති. උද්ධාරණං සාදියති...”

රහසඟ ප්‍රවිෂ්ට වීම ඉවසීම, ප්‍රවේශනය ඉවසීම, එහි රඳා පැවැත්ම ඉවසීම හෝ උද්ධාරණය ඉවසීම යන කරුණු සතරෙන් අවම වශයෙන් එකක් හෝ ඉවසීම පචිති වීමට හේතු වේ.

ලිංගික චර්යාව සම්බන්ධ වැදගත් විවරණයක් ‘මාතාපුත්ත’ සූත්‍රයේ සටහන් වෙයි. මව හා පුත්‍රයා අතර සම්භෝග සුඛය විඳීම බුදුරදුන්ගේ නිග්‍රහයට ලක් වෙයි.

එම සූත්‍රයේදී කාන්තාව සහ පුරුෂයා සදාචාර ධර්ම ඉක්මවා ලිංගික චර්යාවනට පෙලඹීමට තරම් හේතු සාධක මොනවා දැ යි පැහැදිලි කරයි. අන්‍යෝන්‍ය වශයෙන් දෙදෙනා ම එකිනෙකා කෙනෙහි රඤ්ජනයට, කාමයට, මදයට, බන්ධනයට හා කාම මූර්ඡාවට පත් වන බවත් එය රූප ශබ්ද ආදි ගෝචර වස්තු විෂයයෙහි ඇති වන බවත් පහදයි. ප්‍රකෘති මනුෂ්‍ය ලක්ෂණවල ස්වභාවයක් ලෙස එය පෙන්වා දෙයි.

“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක රූපංපී සමනු පස්සාමී යං ඒවං රජනීය ඒවං කාමනීයං ඒවං මදනීයං ඒවං මුච්ඡනීයං... යථයිදං භික්ඛවේ ඉථිරූපං... යථයිදං භික්ඛවේ පුරිස රූප...”

විරුද්ධ ලිංගිකයන් අතර ගොඩනැගෙන විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම කායික සබඳතාවක් දක්වා වර්ධනය වනවා පමණක් නො ව, එකිනෙකා දැකීමත් තෘප්තියට හේතුවක් බන බවත් තම සිත බැඳුණු කෙනාගේ සෑම ඉරියවුවක් ම සිත් ගන්නා බවත් එම සුත්‍රයේදී ම පැහැදිලි කැරේ. සිටීම, හිඳීම, සයනය කිරීම, සිනාව, ගායනය, හැඬීම ද අවම වශයෙන් මිය යන අවස්ථාව දැකීම ද දෙදෙනා අතර බන්ධනය තීව්‍ර කරන බව පැහැදිලි කරයි. මෙම සියලු චර්යා සාමාන්‍ය මිනිස් චරිතයක ප්‍රකෘති ලක්‍ෂණ වුවත් ඒවා සාධාරණීකරණය කළ හැකි වුව ද, මනුෂත්වය සමග නොගැළැපෙන බැවින් අනවශ්‍ය ආකාරයේ බන්ධන වෙනස් කරගැනීමට බුදුසමය උපදෙස් දෙයි.

සමකාලීන ලෝකය තුළ ලිංගික චර්යාවන්ගේ භාවිතය සංකීර්ණ සහ අතිශය ගැටලුකාරී ද වෙයි. පශ්චාත් නූතන විග්‍රහය මිනිසුන්ගේ ප්‍රායෝගිකත්වයේ උපයෝගීතාව ඔවුන්ගේ නිර්ණායක කොට ගනියි. ඔවුහු ස්වාභාවිකත්වයට වැඩි සැලකිල්ලක් දක්වති. මිනිසුන් සංකල්පීය ව වාචික ව අන්‍යයන් හමුවේ සදාචාරය අගය කරන අතර, ප්‍රායෝගික ජීවිතයේදී ඒවා බැහැර කරන බවත් රහසිගත ජීවිතයකට මිනිසා හුරු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. බුදුසමය ලිංගික චර්යාව සීමා කිරීමේදී භික්‍ෂූන්ට සම්පූර්ණයෙන් ම එමගින් ඉවත් වන්නට උපදෙස් දෙයි. බුදුසමය ලෞකික ජීවිතයක් ගෙවන මිනිසුන්ට ලිංගික තහංචි නොදමන අතර, වඩාත් විධිමත් නිරවුල් සම්බන්ධයකට මග පෙන්වයි. එම මග පෙන්වීම හුදු මනෝමූලික සංකල්පයක් නො වේ. සිගාලෝවාද සූත්‍රයේදී ස්වාමි - භාර්යා දෙදෙනා ම ‘අනති චරියා’ හෙවත් ‘එකිනෙකා’ නොඉක්මවීමට වගබලාගත යුතු බව පෙන්වා දෙයි. ලිංගිකත්වය සහ ඒ හා සබැඳි තෘප්තිය විවාහ දිවියට සීමා කළ යුතු ය. එසේ නොවුණ හොත් අනෝන්‍ය විශ්වාසය තහවුරු නො වේ. විවාහයට මෙවැනි සාරධර්මවල ඇති ආදේශකත්වය එමගින් පැහැදිලි වෙයි.

විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවන්ගේ සීමා නිර්ණයකට වඩා ප්‍රතිසංස්කරණාත්මක උපදේශනයක් බුදුසමය ලබාදෙයි. විවාහය සංස්ථාවක් ලෙස පැවැත්වීමට නම් එහි සාමාජිකයන් යම් යම් එකඟතාවන්ට පැමිණිය යුතු ය. එම එකඟතා පිතෘ මූලික විය යුතු බව ඉන් ප්‍රකට නො වෙයි. මනුෂ්‍යත්වය අගය කරන ආකාරයේ එකඟතා සම්මත ලෙස බුදුසමයත් අගයයි. සුත්ත නිපාතයේ ‘බ්‍රාහ්මණ ධම්මික’ සූත්‍රයේදී විවාහයේ පුරුෂාර්ථ ලෙස පෙන්වා දෙන්නේ තම බිරිය නොඉක්මවීම, අඹුවන් මිලට නොගැනීම, සහ අඹුවන් නොවිකිණීම යන සාධක පදනම් කොට ගනිමිනි.

“න බ්‍රාහ්මණා අඤ්ඤං අගමුං නපි භාර්යං කිනිං සුතේ සම්පියේනේ ච සංවාසං - සංගහිවා සමරෝචයුං”

අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වය සකස් කරගැනීමට අවශ්‍ය පදනමක් මත විවාහය පිහිටුවීමට එහි කොටස්කරුවන් සමත් විය යුතු බව මෙමගින් අදහස් වේ. එසේ ම තත්කාලීන සම්ප්‍රාදායික ලක්‍ෂණයක් වූ කාන්තා වෙළෙඳාමට, ස්ති‍්‍රය වෙළෙඳ භාණ්ඩයක් කරගැනීමට එරෙහි බෞද්ධ එළැඹුම ලෙසත් මෙම අවස්ථාව සැලැකි ය හැකිය.

බුදුසමය පුරුෂාධිපත්‍යය නොපිළිගන්නා අතර ම කාන්තාව ද්විතීයික සත්ත්ව ප්‍රජාවක් සේ අර්ථ දැක්වීමක් නො කරයි. එවැනි ගති ලක්ෂණ පවුලක් තුළ නොතිබිය යුතු බවත් මූලික බෞද්ධ ඉගැන්වීම් විමසන විට ප්‍රකට වෙයි.

පශ්චාත්නූතන චින්තනය තුළදී සමලිංගික සේවනය දෙස සුබවාදී ව අවධානය යොමු කරයි. මිනිසාට විවිධ රුචිකත්වයන් තිබිය හැකි ය. ඒවා සපුරාගැනීමට ඔහු වැර දරයි. මුල් බුදුසමය සමලිංගිකත්වය සියුම් විවරණයකට ලක් නො කරයි. අටුවා තුළදී නම් එවන් අවස්ථා හඳුනාගත හැකි වෙයි. චක්කවත්ති සිහනාද සූත්‍ර විවරණයේදී පැහැදිලි කර ඇත්තේ එය ධාර්මික චර්යාවක් නොවන බවකි.

“අධම්ම රාගෝති මාතා පිතුච්ඡා මාතුලා පිතු ආදිකේ අයුත්තට්ඨානේ... විසම ලෝභෝති පරිභෝග යුත්තේසු පි ඨානේසු අති බලවා ලෝහෝ මිච්ඡා ධම්මෝති පුරිසානං පුරිසේසු ඉථි සු ඡදරාගෝ...”

සමලිංගිකත්වය මිථ්‍යා චර්යාවක් ලෙස මෙහිදී හඳුනාගැනේ. එහෙත් සමලිංගිකත්වය අගයන චින්තකයන්ගේ අදහස වන්නේ සත්ත්ව ලෝකය තුළත් සමලිංගිකත්වයට ඉඩ ප්‍රස්තා ලැබෙන බව යි. බුදුසමය උසස් වීමේ හැකියාව ඇති සත්ත්වයකු ලෙස මිනිසා හඳුනාගන්නා බැවින් සත්ත්ව ලෝකය මනුෂ්‍යත්වයට ආදේශ කිරීමේදී ආචාර ධර්මීය සීමා පනවයි.

බුදුසමය භෞතිකවාදි දර්ශනයක් නො වේ. මිනිස් චර්යාව හා බැඳි ආචාර ධර්ම පද්ධතියක් නිර්වාණය කේන්ද්‍ර කොට එමගින් ඉදිරිපත් වෙයි. ලිංගිකත්වය සදාචාර විරෝධී සේ අර්ථවත් නොකැරෙන අතර ම, එම අංශය පිළිබඳ මධ්‍යස්ථ වීම ජීවිතයේ සංතෘප්තියට, සහනශීලී භාවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. ත්‍රිශික්‍ෂා මුල් කොටගත් අරීඅටැඟි මඟෙහි මිනිසා අනුගමනය කළ යුතු චර්යා ධර්ම පද්ධතියක් ඉදිරිපත් වෙයි. එහෙත් ඒවා ලිංගභේදය හෝ ආධිපත්‍යමය අවශ්‍යතා අනුව ස්ත්‍රී හෝ පුරුෂ යන එක් පක්ෂයක හිංසනයට හෝ ද්විතීයිකකරණයට පදනම් නො වේ.

ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බව යි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි.

අඤ්ඤාදත්ථුහර, වචීපරම, අනුප්පිය භාණී, අපාය සහාය මිත්තො

නමොතස්ස භගවතො අරහතො සම්මා
සම්බුද්ධස්ස
භජන්ති සෙවන්ති ච කාරණත්ථා
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා
අත්තට්ඨපඤ්ඤා අසුචි මනුස්සා
එකො චරෙ ඛග්ගවිසාණකප්පො
පින්වත්ති
සුත්ත නිපාතය නමැති ධර්ම ග්‍රන්ථයේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි සඳහන් වන එක් ගාථා ධර්මයක් තමයි මේ සඳහන් කෙළේ. සමහර අය තවත් කෙනකු ඇසුරු කරන්නෝ ධනය වැනි කිසියම් කාරණයක් බලාපොරොත්තුවෙනුයි.
එබඳු ලාභාපේක්ෂා හේතුවක් නැතුව උතුම් අදහසින් මිතුරන් ඇසුරු කරන අය අද ඉතා දුර්ලභ යි. මිනිසුන් මෙහෙම ආත්මාර්ථකාමී නුවණ ඇතුව, අපිරිසුදු අදහස් ඇතිව යි වාසය කරන්නේ. ඒ නිසා කඟවේණකු ලෙස තනියෙම හැසිරෙන එක හොඳයි. මේ තමයි අර ගාථාවේ කෙටි අදහස.
මීට වසර 2318 කට පෙර මිහිඳු මහ රහත් මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මාලෝකය විහිදුවමින් සුචරිතවත් සුධන්‍යවත් නව සමාජයක් ඇති කරලීමේ ඓතිහාසික මහ මෙහෙවර සිහිගන්වන මේ උතුම් පොසොන් පෝදා ලක්වැසි බුදුනු- නුබුදුනු හැම දෙනාට ම කළ හැකි උතුම් ම පූජෝපහාරය වන්නේ ඒ අනුබුදු පියාණන් වහන්සේ මෙත් කුලුණින් හෙළිකළ සදහම් මංපෙත නැවැත පාදා තහවුරු කරගෙන ක්‍රියාවට නැංවීම මිස අන් දෙයක් නො වේ.
රටකට අවශ්‍ය අධ්‍යාත්මික සංවර්ධනය වගේ ම ආර්ථික සංවර්ධනයත් අපට මුල්වරට කියා දුන්නේ උන්වහන්සේ යි. සිංහලයාට තේරෙන අයුරින් හෙළ බසින් බුදුබණ දෙසූ උන් වහන්සේ අලුත් සංස්කෘතික දිශාන තියකට මඟ හෙළිකළා පමණක් නො ව ආර්ථිකයත්, දේශපාලනයත්, අධ්‍යාත්මිකත්වයත් එමෙන් ම ජාතිකත්වයත් ඒකාබද්ධ කොට රාජ්‍ය පාලකයනුත් ජනතාවත් එක මඟකට එක දර්ශනයකට පෙළ ගැස් වූ ෂශිෂ්ටතම අධ්‍යාත්මික නායකයාණන් ද වුණා. ශ්‍රී ලාංකේය ජනතාව විවිධ වූ විලෝපනයන් මැද අදත් ආරක්ෂා වී ඇත්තේ උන්වහන්සේ දූරදර්ශී ව අපට පෙන් වූ සභ්‍යත්ව මාර්ගයට පින් සිදු වන්නයි. 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට ලක්වැසි ජනතාව පෙළ ගැසෙමින් සිටින මේ අවදියෙහි මිහිඳු මාහිමියන් වහන්සේ අප සමාජයට දායාද කළ ජාතිකත්වය හා බැඳුණු ආගමික හා සංස්කෘතික මූලධර්මයන් නැවත ප්‍රකෘතිමත් කොට සක්‍රිය කිරීම බෙහෙවින් ම ඵලදායි කටයුත්තක්.
එදා මිහිඳු මාහිමියන් වහන්සේ සිදුකළ සුන්දර සමාජ පරිවර්තනය යළිත් උදා කරගන්නට සුදුසු ම අවස්ථාව තමයි මේ සම්බුද්ධත්ව ජයන්තිය. 1956 වසරේ උදාවුණු 2500 බුද්ධ ජයන්තිය මේ රටේ විශාල සමාජ ප්‍රබෝධයක් ඇතිකළා. එකල නිකුත් කළ පොලිස් වාර්තාවලින් පැහැදිලි වෙනවා එදා සිදුකළ පේවීම නිසා මේ රටේ අපරාධ කොතරම් දුරට අඩු වූවා ද කියා. එදා බුද්ධ ජයන්තියට වඩා මෙය විශිෂ්ට අවස්ථාවක් වන්නේ මේක සිදුහත් ගොයුම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ උතුම් ජයන්තිය වන නිසා. ලොවේ අවිදු අඳුර බිඳ දහම් ප්‍රඥාවේ අරුණලු දහර දසත විහිදවූ ඒ සම්බුද්ධත්වයේ ජයන්තිය වෙනුවෙන් අප හැම කෙනකු ම පිළිවෙත් මඟින් පුද දී එම ජයන්තිය අලංකාරවත් කිරීම සැබැවින් ම කාලෝචිත යි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පැසසූ පූජාව. එය ගිලී යමින් පවතින සමාජ සච්චාරිත්‍ර ධර්ම නැවැත ඔසොවා තැබීමට ගන්නා ප්‍රයත්නයක් වගේ ම අපේ අනාගත පරපුර රැක ගැනීමටත් එය හොඳ පිටුබලයක් වෙනවා.
පන්සිල් පදනම් කරගත් සමාජ සංවර්ධනයක් ඇති කර ගැනීමට උපයෝගි කරගත හැකි මේ උතුම් අවස්ථාව ගැන වැඩි දෙනකු මෙතෙක් අවධානය යොමු කර ඇති බවක් පේන්නේ නැහැ.
භික්ෂූන් වහන්සේලාත් රජයත් පොදු මහජනතාවත් ඒකාබද්ධ වීමෙන් සුබ අනාගතයකට දොර හැරෙන යහපත් සමාජ වාතාවරණයක් මේ ආශ්‍රයෙන් නිසැක ව ම උදාකරගත හැකියි. මෙහි සඳහන් කළ ත්‍රිවිධ ස්ථරයන් නිසි විදියට අවංක ව ම එකතු වනවානම්, පුද්ගල දියුණුව සමග බද්ධවුණු සද්ධා - සීල- චාග- පඤ්ඤා දහම් සන්තානගත ප්‍රවර්ධනයෙහි උත්සාහවත් වනවා නම්, මේ දේශය අසිරිමත් දැහැමි රටක් බවට පත් කර ගැනීම කිසිසේත් ම සිහිනයක් වන්නේ නැහැ.
මෙම අරමුණු පලවත් කර ගැනීම සඳහා ප්‍රාරම්භක පියවරේ සිට ‘ජාතික මල් සම්පත’ වූ දරුවන් පෙළ ගස්වා ගැනීම සඳහා සුදුසු පිළිවෙත් 10 ක් මෙහිලා හඳුන්වාදීම වැදගත් වේ යැයි අප සිතනවා. ඒ පිළිවෙත් දහය මෙහෙම යි.
1. බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය සැදැහෙන් පිළිගන්නා මම දිවි ගිය ද ඒ තුනුරුවන අත් නො හැර සරණ යමි.
2. උදයම අවදි වූ විට ද නිඳන්නට පෙර ද තිසරණ සහිත ව පන්සිල් සමාදන් ව ‘මම සුවපත් වෙම් වා, සියලු සත්ත්වයෝ ද සුවපත් වෙත්වා’ යි සුළු වේලාවක් හෝ මෙත් වඩමි.
3. මට අයත් කටයුතු පමා නො කොට සැලැකිල්ලෙන් සකසා සපුරා කරමි.
4. දෙමවුපිය - ගුරුවර - වැඩිහිටි හැම දෙනාම සත් සිරිතින් සනසන්නෙක් වෙමි.
5. ආත්ම ගෞරවය රැකෙන ලෙස, අනුනට හිරිහැරයක් නොවන පරිදි මගේ කයත් වචනයත් සංවර කර ගනිමි.
6. මම අන්අයට ආදර්ශයක් වන කළණ මිතුරෙක් / මිතුරියක් වෙමි.
7. කිසිදිනෙක දුම් - මත් දිය - මත් ද්‍රව්‍ය නො ගෙන මගේ සෞඛ්‍යය රැකගන්නට වැර වඩමි.
8. මගේ පිරිසුදු බව රැකගනිමින් මා වෙසෙන පරිසරය ද පිරිසුදු ව තබාගන්නට උපකාර කරමි.
9. මගේ දියුණුවත් පරෝපකාරයත් සඳහා අරපරෙස්සමින් සුළුවෙන් හෝ ඉතිරි කරමි.
10. මගේ බස, මගේ දැය, මගේ රට ලෙවි (ලෞකික) තුනුරුවනක් ලෙස සලකා එය රැකගන්නට දිවි හිමියෙන් කැප වෙමි.
මෙම දස පිළිවෙත හැදෙන දරුවන්ටත් අපේ ශාසනයටත් ජාතියටත්, දේශයටත් මනා වූ රැකවරණයක් සලසනවා නො අනුමාන යි.
රටක ආර්ථික සමෘද්ධිය සඳහාත් අධ්‍යාත්මික සශ්‍රීකත්වය සඳහාත් බලපවත්වන එක් සාධකයක් තමයි යහපත් පුද්ගල සම්බන්ධතාව. මිහිඳු මහ රහතන්වහන්සේ කල්‍යාණ වූ ශාසනය අප රටට දායාද කළා පමණක් නො ව ඊට අනුගත වූ යහපත් පුද්ගල සම්බන්ධතාවක් ද තහවුරු කළා. මේ සඳහා හේතුවන නියාමක ධර්මයක් විදියට බුදුදහමෙහි පැහැදිලි කරන්නේ කල්‍යාණ මිත්‍රත්වය යි. කල්‍යාණ ශාසනය පල දරන්නේ කල්‍ය මිතුරන් නිසා බව බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කර තිබෙනවා. මෙම කල්‍යාණ මිත්‍රත්වයට පදනම් වන්නේ සද්ධා, සීල, චාග, පඤ්ඤා යන දහම් බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රාදී දේශනාවන්හි අවධාරණය වෙනවා. එහි සඳහන් වන ආකාරයට පුද්ගලයකුගේ මෙලොව දියුණුවට හේතුවන කල්‍යාණමිත්තතා හෙවත් ‘කලණ මිතුරන් ඇති බව‘ විස්තර වන්නේ මෙහෙම යි.
‘යම් ගමක හෝ නියම් ගමක හෝ සිටින කුල පුත්‍රයකු ඒ ගමේ වෙසෙන වයසින් බාල වුවත් ගුණයෙන් වැඩුණු ගෘහපති පුත්‍රයකු හී එබඳු ගුණයෙන් දියුණු වූ ගෘහපතියකු හෝ ඇසුරු කරනවා. ඒ ගෘහපති පුත්‍රයා නැත්නම් ගෘහපතියා ශ්‍රද්ධා සම්පන්න යි. ශීල සම්පන්න යි. ත්‍යාගී ගුණයෙන් යුක්ත යි. ප්‍රඥා සම්පන්න යි. අර කුලපුත්‍රයා මේ ගෘහපතිවරයා එක්ක ඇසුරට වැටෙනවා. ඔහු සමඟ නිතර කතා බහ සාකච්ඡා ආදිය කරනවා. මෙ පමණකින් නතර වන්නේ නැති ව තමාත් අර ශ්‍රද්ධා සම්පන්න තැනැත්තා ගේ ශ්‍රද්ධාව අනුව හික්මෙනවා. ඒ වගේ ම අර තැනැත්තාගේ ශීල, චාග, පඤ්ඤා ගුණයන් අනුව තමාත් හික්මීමක් ලබා ගන්නවා. ගුණ සම්පන්න පුද්ගලයා අනුව තමාත් සද්ධා, ශීලාද ගුණයෙන් වැඩුණු තැනැත්තකු බවට පත් වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ කල්‍යාණ මිත්‍රතාව කියලා.’
කෙනකු ගේ යහළුකම අර්ථවත් වන්නේ මේ කරුණු පදනම් කරගෙන. මෙබඳු මිතුරන් ලබා ගැනීම ඉතාම දුෂ්කර බව මෙහි මුලින් ම සඳහන් කළ ගාථාවෙන් පැහැදිලි වුණා. වත්මන්හි වුණත් අපට බෙහෙවින් ම ලැබෙන්නේ අපේ ශ්‍රද්ධාව වඩවන, සීලය දියුණු කරවන ත්‍යාගී ගුණය පුහුණු කරවන, ප්‍රඥාව කරා යොමු කරවන යහළුවෝ නෙමෙයි, මෙයින් පැහැදිලි වෙනවා අපේ බොහෝ මිතුරන් මිත්‍ර වේශයෙන් සිටින මිත්‍ර ප්‍රතිරූප බව.
අඤ්ඤාදත්ථුහර, වචීපරම, අනුප්පිය භාණී, අපාය සහාය යනුවෙන් එබඳු මිත්‍ර ප්‍රතිරූප හතරක් බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයෙහි පැහැදිලි කර තිබෙනවා. කෙනකුට ලෝකයට කරන්නටට පුළුවන් උත්තම ගණයේ සේවය තමා තමන් කල්‍යාණ මිත්‍රයකු වීම. මුළු මහත් ශාසනය ම වැඩෙන්නේ කල්‍යාණ මිත්‍රයා පදනම් කරගෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමාජ යාන්ත්‍රණය නිරවුල් ව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ මේ කල්‍යාණ මිත්‍ර සේවනය යි. ආර්ථික, අධ්‍යාපන, දේශපාලන , සෞඛ්‍ය පවුල් සංස්ථා ආදි විවිධ වූ විෂය පථයන් තුළ සමාජයට හානිකර ලක්ෂණයන් අවම කරගෙන සමාජයට හිතකර ලක්ෂණයන් දියුණු කරගන්නට පුළුවන් වන්නේ මෙම කලණමිත් ඇසුර නැතහොත් කල්‍යාණ මිත්‍රත්වය පුළුල් ලෙස වර්ධනය කිරීමෙන් පමණ යි.
වෙනත් අයුරකින් කිවහොත් රටක සත්පුරුෂ සමාජයක් ඇතිකර ගන්නට හැකිවන්නේ කල්‍යාණ මිත්‍රත්වය පිහිට කොට ගෙන ම යි. එබැවින් සියවස් 21 කට පෙර දී මිහිඳු මාහිමියන් වහන්සේ සිරිලක් වැසියනට පහදා දී ප්‍රගුණ කර වූ කල්‍යාණ මිත්‍රත්වය හෙවත් තමා තමාටත් අනුන්ටත් කලණ මිතුරකු වීමේ සාරධර්මය ගුරු කොටගෙන රුදුරු ශාපයකින් නිදහස්ව එක්සත් ව පිබිදෙන්නට ප්‍රයත්න දරන වත්මන් සමාජයට සදහම් වැසි වස්වා සශ්‍රීකත්වයට පත් කරන්නට අපි සියලු දෙනාම මේ උතුම් පොහෝ දිනයේ තරයේ අධිෂ්ඨාන කර ගනිමු.

සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි

ගෘහ ජීවිතයේ සාර්ථක මඟ







සමාජ සංස්ථාවේ මූලික අඩිතාලම වන්නේ ගෘහයයි. සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි. සමස්තයක් වශයෙන් අප මුළු ලෝකය ගැනම සිතා බලන කල එහි මූල බීජය වන්නේ ගෘහ ජීවිතය නොහොත් පවුලයි. එහි දී වගකිව යුත්තන් වන්නේ ද ගෘහ මූලිකයා හා ගෘහ මූලිකාවයි. එය ගොඩ නැගෙන්නේ ස්වාමි භාර්යා සංකල්පය මතය. එම දෙපළ මුල්වී ගොඩනගන අත්තිවාරම සාර්ථක ගෘහ ජිවිතයක අඩිතාලම වනු ඇත.

මෙහි දී සාකච්ඡාවට බඳුන් වන්නේ ගෘහ ජීවිතයක් සාර්ථක වන මඟයි. ස්වාමි, භාර්යා සංකල්පය ඔස්සේ විහිදෙන පවුල් සංස්ථාව වන්නේ මවුපිය දූ දරු සංකල්පයයි. ස්වාමි, භාර්යා දෙපළගේ පිරිසුදු ජීවිතය දීර්ඝ පවුල් පසුබිමකට උරුමකම් කියනු ඇත. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර ඇසුරෙන් කරුණු දේශනා කොට ඇත. නිවසක් අලංකාර වන්නේ එහි ජීවත් වන්නන්ගේ පිරිසුදු අපිරිසුදු ගුණ අගුණ මතය.
බුදුරජාණන් වහන්සේ ගේ දේශනා තුළින් ඕනෑම ගෘහස්ථ ජීවිතයක් සාර්ථක කර ගැනීමට විවිධ සූත්‍ර මඟින් කරුණු අණාවරණය කර ගත හැකිය. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කුල සූත්‍රයට අනුව සුවිශේෂි කරුණු හතරක් ගෘහ ජීවිතය සම්බන්ධව දේශනා කොට ඇත. එහි අණාවරණය වන්නේ ගෘහ ජීවිතයක් සාර්ථක වන ක්‍රම පිළිබඳවයි. ඒ අතර ප්‍රධානතම කරුණ ලෙස දුස්සීල වූ කාන්තාවක හෝ පුරුෂයෙකු එම පවුලේ ප්‍රධානත්වයට පත්වීම පෙන්වා ඇත. දුස්සීල නම් සිත, කය, වචනය යන තිදොරින් ම අපිරිසිදු අයහපත් ක්‍රියා සිදු කිරීමය. පංච දුස්චරිතයම සිදුකරන ගෘහ ප්‍රධානියා හෝ ප්‍රධානිය වෙසෙන නිවස මොහොතින් මොහොත පිරිහීමට ලක් වේ. එවිට වියදම් පක්ෂය ද ඉහළ ගොස් අර පිරිමැස්මකින් තොරව කටයුතු කිරීමට පෙළඹේ. ඒ අනුව එහි අනිත් පැත්ත වූ මනා චරිතයක් ඇති ප්‍රධානියෙකු පත්වීම අනිවාර්ය වේ. එවැනි නායකත්වයක් තුළ පවුල් සංස්ථාව දියුණු වේ.
ගෘහ ජීවිතය සාර්ථක වීමේ දෙවන ලක්ෂණය නම් ආර්ථික ශක්තියයි. ධනය උපයනවා සේම එහි සුරක්ෂිතතාවය ද වැදගත් වේ. කුල සූත්‍රයට අනුව වියදම් වන තරමට ඉපයීම සිදු නොවුනහොත් එම පවුල පිරිහීමට ලක්වන අයුරු දේශනා කොට ඇත. එහි දී දිරාගිය දෑ ප්‍රතිසංස්කරණය කිරීම, ආහාරපාන ඇඳුම් පැළඳුම් සඳහා අධික වියදම් නොකිරීම ආදිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
විශේෂයෙන් ගෘහ ජිවිතයේ සාර්ථකත්වය උදෙසා පවුලේ සාමාජිකයන් අතර අනෝන්‍ය වශයෙන් මනා සුහද සම්බන්ධතාවයක් තිබීම වැදගත් වේ. එහි දී ඔවුනොවුන් අතර සහජීවනය උදෙසා ඉටුවිය යුතු යුතුකම් පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. මවුපිය දූ දරු, ස්වාමි භාර්යා ආදී වශයෙන් සමාජ සම්මත යුතුකම් පද්ධතියක් ඇත. එම යුතුකම් පිළිබඳ සිඟාලෝවාද සූත්‍රය තුළ ගැඹුරින් දේශනා කොට ඇත. සමාජ සංස්ථාව පැවතෙන්නේ එම යුතුකම් හා වගකීම මතය.
ගෘහ ජීවිතය සාර්ථක වීම සඳහා ස්වාමි භාර්යා දෙදෙනාම ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, පරිත්‍යාගශීලිත්වයෙන් හා ප්‍රඥාවෙන් සමාන තත්ත්වයක සිටීම වැදගත් බව අංගුත්තර නිකායේ සමජීවි සූත්‍රයෙහි සඳහන් වේ. සංවාස සූත්‍රයෙහි සඳහන් වන පරිදි අඹුසැමි දෙදෙනම අශීලාචාර වුවහොත් ඒ දෙදෙනාගේ එකතුව මළමිනී දෙකක එකතුවක් වැනිය. දැහැමි දිවියක් ඇති පුරුෂයා යුග දිවිය ගත කරන්නේ අශීලාචාර කාන්තාවක සමඟ නම් එය දෙවියෙකු සමඟ මළ මිනියක් එකතුවීම වැනිය. ශීලාචාර කාන්තාවක යුග දිවිය ගෙවන්නේ අශීලාචාර පුරුෂයකු සමඟ නම් එහි ඇත්තේ දෙවඟනක් සමඟ මළ මිනියක් එකතු වීමක් හා සමාන දෙයකි. අඹුසැමි යුවළම දැහැමි නම් එතැන දක්නට ලැබෙන්නේ දෙවියකුගේ හා දෙවඟනකගේ එකතුවකට නිවස දෙව්ලොවක් කර ගැනීමට නම් අඹු සැමි දෙපළම දැහැමි ලෙස ජීවත් විය යුතුය.
සාර්ථක ගෘහ ජීවිතයක් පිළිබඳ කතා කිරීමේ දී තවත් වැදගත් කරුණක් ලෙස සෞඛ්‍ය සම්පන්න වීම ද වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ආරෝග්‍ය පරමා ලාභා” වශයෙන් නිරෝගි කම උතුම්ම ලාභය බවයි. මෙහි දී කායික නීරෝගිරමත්, මානසික නීරෝගීකමත් යන දෙඅංශයම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. කායික වශයෙන් ගෙවල්, දොරවල්, වතුපිටි පිරිසුදු කර ගැනීම, ඇඳුම් පැළඳුම් පිරිසුදු කර ගැනීම හා තම ශරීරය පිරිසුදුව තබා ගැනීම වැදගත් වේ. මානසික වශයෙන් කරුණාව දයාව මෛත්‍රීය වැනි ගුණාංගවලින් යුක්ත හොඳ සිතිවිලි ඇති කර ගත යුතුය. එවිට ඒවා තුළින් නිකුත්වන තරංග තම දූ දරුවන් පවා සුවපත් කිරීමට යහපත් කිරීමට සමත්වනු ඇත.
සතර බ්‍රහ්ම විහරණ හා සතර සංග්‍රහ වස්තු ක්‍රියාත්මක කිරීම තුළින් පවුල් සංස්ථාව සාර්ථක කර ගත හැකිය. ඡන්ද, දෝෂ, භය, මෝහ යන සතර අගතියෙන් අගතිගාමී නොවී මධ්‍යස්ථව ජීවිතය ගත කළ යුතුය. ස්වාමියා බිරිඳ කෙරෙහි ද බිරිඳ ස්වාමියා කෙරෙහි ද අනවශ්‍ය සැක ඇති නොකර ගත යුතුය. අනෝන්‍ය විශ්වාසයකින් හා බැඳීමකින් පවුල් සංස්ථාව ගත කරන කල්හි එම නිවස තුළ සමඟිය, සහජීවනය, දියුණුව නිතැතින් ම ගොඩනැඟේ.

"බොහොම ස්තුතියි හාමුදුරුවනේ" හාමුදුරු තාත්තා...

හාමුදුරු තාත්තා...





අපි නොහිතුවට ඉරටත් තියෙනවා හිතක්.

ඉර පායෙන්නෙ හෙමිහිට .ඉස්සෙල්ලා ඉර හොරාට බලනවා සැගවිය යුතු යමක් තියෙනෙ ගෙවල් ගැන.එහෙම ගෙවල් වලට එලිය වැටෙන්නෙ අඩුවෙන්.ඉරේ තරහක් නෑ... සැගවිය යුතු දේවල් ගැන වැරැද්දක් හිතන්නෙත් නෑ.ඒත් ඉර කැමති නෑ ලෝකයෙන් සැගවිය යුතු දේවල් කුහක හිත් තියෙන හිනාවෙන්නම බලාගෙන ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න.

පන්සලක් තිබුනා ඉර අඩුවෙන්ම ආව ගිය.

බෞද්ධාගමිකයෙක් විදියට හැම පෝයටම පන්සල් යන පුරුද්ද මට තියෙනවා.මේ කියන්නෙ මමපෝයට යන පන්සල ගැන නෙමෙයි වෙන පන්සලක් ගැන. බෝධිය,චෛත්‍ය ,බුදුගෙය  හැම පන්සලකම මූලික ඇවසිතා සම්පූර්ණ කරමින් පිහිටනවා.පිහිටන තැන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා.ඒ වෙනස පන්සලට ආවේනිකත්වයක් එක් කරනවා.

හාමුදුරුවෝ සිවුරෙ පට හදමින් ආවාසගෙයි ඉදලා බුදුගෙය පැත්තට ඇවිද්ගෙන ආවා.සිවුරෙ කහ පාටට ඉර එලිය පොඩ්ඩක් වැටිලා තද කහ පාටට පෙනුනා.

"තතා....තතා...."

පුන්චි කලිසම් පොඩිත්තක් ආවාසගෙයින් එලියට බැස්සා.කලිසම් පොඩිය හරි පිරිසිදුවට පෙනුනා.කමිසයක් තිබුනෙ නෑ.පුන්චි බකලයක් එක්ක ඇවිදගෙන ආපු කලිසම් පොඩිය සිවුරු පටේ එල්ලුනා. හාමුදුරුවො වචනයක්වත් නොදොඩා බුදු ගෙය පැත්තට ඇවිදගෙන ගියා.ඉද හිට සිවුරුපොටේ එල්ලිලා එන පොඩි එකා දිහා ආදරෙන් බැලුවා.මල් ආසනේ මතුපිට හිස් බවක් තිබුනා.ඉද හිට පන්සලට එන ඩින්ගිරි මැණිකා උපාසිකා මාතාව ඇරුනුකොට වදින්න පුදන්න පන්සලට ආවගිය කෙනෙක් නෑ.හාමුදුරුවො බුදුගෙය ලග තිබුනු ඉද්ද ගහෙන් මල් දෝතක් නෙලලා මල් ආසනේ මත තියුවා. ගාථා ඔක්කෝම කියලා වදිනකල් කලිසම් පොඩිය සිවුර ලගින් ඉදගෙන හිටියා.

"ඒ හාමුදුරුවො කසාදත් බැදලලු.කේන්දර බලන්න ගිය දවසක තමයි දැකලා තියෙන්නෙ. ගෑනු කෙනෙක් ආවලු පොඩි එකෙක් වඩාගෙන .පොඩි එකා තාත්තෙ කියලත් කියුවලු ඊටපස්සෙ පන්සල පැත්තෙවත් ගිහින් නෑ.කේන්දර බැලුවෙත් වෙන කෙනෙකුට කියලා."

සිවුර පෙරවූ පමණින් මිනිස් හැගීම් චර්යා රටා වෙනස් නොවේ.කායික මානසික සoවරය ඇති කරගන්නට සිත නම්වූ කුපිත සත්වයා පාලනය කරන්නට අප හිතන තරම් ලේසි නොවේ. ඉතාමත් සැහැල්ලු හිත් සහිත ගිහි මිනිසුන් දැක ඇත්තෙමි.ඔවුහු භාවනා නොකරති.සමහරු පන්සල් යන්නේද අවාරෙටය.නමුත් ඒ හිත් පාලනය කල හැකිය.ඒ සoසාර පුරුද්දය.

කොහොමටත් මම ඉර එලිය අඩුවෙන් වැටුනු කහපාට සිවුරෙ වැරැද්දක් දකින්නෙ නෑ. මාර්ග පල නොලබපු මිනිස්සු අතින් වැරදි සිද්ධවෙන්න පුළුවන්.තමන් තාත්තා වුන දරුවෙක් ලෝකෙ කොහේ හරි ඉන්නවා නම් තාත්තා කෙනෙක් නැතුව හැදෙනවට වැඩිය තාත්තා කෙනෙක් ඇතුව දරුවා හදන එක තාත්තගෙ යුතුකමක්.වගකීමක්.තමන්ගෙ දරුවො තමන්ගෙ නෙමෙයි වගේ ඉන්න ගිහි මිනිස්සුන්ටත් ආදර්ශයක්.

මිනිස්සු හරි දස්සයි කතන්දර හදා ගන්න.හිත් ඇතුලෙ.තමන් කැමති හැටියට.තම තමන් ජීවිතය දකින විදියට .තමන්ට රසවත් විදිහට.

මම කැමතියි ඒ පුන්චි කලිසම් පොඩිත්ත හාමුදුරුවන්ගේ සහෝදරියකගෙ දරුවෙක් විදියට දකින්න.ඒ උන්වහන්සෙගෙ සහෝදරිය විදියට දකින්න. ඒත් එහෙම කලාම කතන්දරය රසවත් වෙන්නෙ නෑ.අපි ඇත්තටම නිවැරදි කතාව දන්නෙ නෑ.නොදන්නා කතාවකට අටුවා ටීකා එකතු කරනවා.

හාමුදුරුවො හදිසියේ සිවුරු ඇරලා කියලා දැනගෙන අපි ආපහු කේන්දර බලන්න එහෙටම ගියා.ටයි කෝට් දාගෙන හාමුදුරුවො කේන්දර බලනවා.කෙන්දරේ බලලා ඉවර වුනාම 

"බොහොම ස්තුතියි හාමුදුරුවනේ" කියලා මට කියවුනා..

"සමාවෙන්න මට වැරදුනා"

"කමන් නෑ නෝනා... බොහොම දෙනෙක්ට ඔහොම වරදිනවා" (ඉස්සර )හාමුදුරුවෝ ශාන්ත සිනාවක්  පාමින් කියුවා.

මස්‌ මාංශ අනුභවය පවක්‌ද!

මස්‌ මාංශ අනුභවය පවක්‌ද!

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
හෑගොඩ විපස්‌සී හිමි

මස්‌මාංශ අනුභවය පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය පවට අනුබල දීමක්‌ යෑයිද ඒ නිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ යෑයි ද තර්ක කරති. කෙසේ හෝ වේවා මේ තත්ත්වය හමුවේ අසරණ වන බෞද්ධ පින්වතුන්ට මෙහි සැබෑ තත්ත්වය පහදා දීම මෙම ලිපියේ අරමුණයි.

උභතෝකෝටික ප්‍රශ්නයක්‌ යනු කෙළවරවල් දෙකක්‌ ඇති ප්‍රශ්නයකි. මස්‌ මාංශ අනුභවය පිළිබඳවද බෞද්ධ පින්වතුන් අද මුහුණ දී සිටිනුයේ උභතෝකෝටික ප්‍රශ්නයකට යෑයි කීවොත් නිවැරැදිය.

කෙනෙක්‌ මස්‌මාංශ අනුභවය අකුසල කර්මයක්‌ යෑයි පවසති. තවත් කෙනෙක්‌ පවසනුයේ මස්‌ මාංශ අනුභවය වරදක්‌ නොවන බවයි. මස්‌මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් ඇතැම්හු ආවේගශීලීව කටයුතු කරන ආකාරයක්‌ ද දක්‌නට ලැබේ. මෙම පිsරිස විනය පිටකය බුද්ධ දේශනාවක්‌ නොවන බවට ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්වී සිටිනවා. මෙය කනගාටුවට කරුණකි.

මෙම ප්‍රශ්නයේදී තවත් සමහරෙක්‌ බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන්ට රුචි ආකාරයෙන් අර්ථ දක්‌වන ආකාරයක්‌ දැකිය හැකියි.

කෙසේ හෝ වේවා මස්‌ මාංශ අනුභවය පිළිබඳව කෙනෙක්‌ අපගෙන් හොඳද නරකද කියා සෘජු ලෙස විමසීමක්‌ කළහොත් බරපතල ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එහිදී අපට දීමට ඇති උත්තරය වනුයේ මස්‌ කෑම නරක බවයි. එහෙත් මස්‌ මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයත් සමඟ පටලවා ගත යුතු නැහැ.

කෙනෙක්‌ අපගෙන් මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්‌ද කියා විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයන්ට මෛත්‍රිය කරන ලෙසයි. ඒ පිළිබඳව සංවාදයක්‌ නැහැ. එයයි අපට ඊට දීමට ඇති උත්තරය. කුරා කූඹියාට පවා මෛත්‍රිය කරන ලෙසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පිළිබඳව අපට කිසිදු විවාදයක්‌ නැහැ.

නමුත් අපට ප්‍රශ්නයක්‌ තියෙනවා. මාංශ අනුභවය පවක්‌ යෑයි කියමින් එය සමාජගත කරන්න උත්සාහ දරන පිරිස්‌ අතර ඒ සඳහා ඉදිරිපත් කරන්නේ කිසිදු සිද්ධාන්තයක්‌ නැති පුහු තර්ක නිසා බෞද්ධයා නොමඟට යනවා. අතරමං වෙනවා. එයයි අපට තියෙන ප්‍රශ්නය.

මාංශ භක්‍ෂණය පිළිබඳව සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් ගොඩක්‌ කරුණු සඳහන් වෙනවා. මCධිම නිකායේ සඳහන් ජීවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධියක්‌ පිළිබඳව. ඉන් අදහස්‌ කළේ කොන් තුනක්‌ පිරිසිදු මාංශයන් අනුභව කළාට කමක්‌ නැති බවයි.

දිට්‌ඨං. සූතං පරිසංකිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙම කාරණයයි.

තමන් සතකු මරණවා දුටුවා නම්, සැක සිතුණා නම් එසේම එම සතා මැරුවේ ඔබ නිසා නම් එම මස්‌ වැළඳීමෙන් වළකින ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එසේනම් මෙතැනදී ප්‍රශ්නයක්‌ ගොඩනැඟෙනවා. එසේ නොවන මසක්‌ අනුභව කළාට වරදක්‌ නැත්ද කියා. ඇත්ත වශයෙන් ඒ පදනමින් නොවෙයි, බුදුරජාණන් වහන්සේ මෙය දේශනා කළේ.. තමන් යම් මාංශයක්‌ අනුභව කිරීමෙන් පසුව සැකයක්‌ ඇති වී මානසික බිඳවැටීමක්‌ ඇති වුවහොත් මානසිකව පීඩාවට ලක්‌විය හැකියි. තමන් එම මාංශය අනුභව කිරීමෙන් පවක්‌ සිදු වුණාද යන පසුතැවීමකට වුවද ලක්‌විය හැකිය. එම තත්ත්වයෙන් මිදීම සඳහායි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනාවක්‌ කළේ. මේ තත්ත්වය පදනම් කරගෙන කෙනෙක්‌ කියනවා නම් මේකෙන් තොර යමක්‌ අනුභව කිරීම වරදක්‌ නැහැ කියලා.......... එයත් නොවෙයි මින් අදහස්‌ කරන්නේ.... සාමාන්‍ය ජීවන පැවැත්මට බාධා නොවන අයුරින් ක්‍රියා කිරීමයි. මින් අදහස්‌ කරන්නේ. අප එය අර්ථ දක්‌වන්නේ සම චර්යාව කියලයි.

බුදු දහමෙහි සඳහන් ප්‍රධාන වචන දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි අපි ඉහතින් සඳහන් කළ සම චර්යාව අනෙක්‌ වචනය තමයි ධර්ම චර්යාව. මෙම වචන දෙක පිළිබඳව කිසිවෙක්‌ නිසි පර්යේෂණයක්‌ කර කරුණු ඉදිරිපත් කරලා නැහැ. අපි ඒ පිළිබඳව යම් යම් කරුණු එකතු කරගෙන යනවා.

සම චර්යාව යනු සමාජයේ යහපතට, පැවැත්මට හේතුවන කරුණුයි. අංගුත්තර නිකායේ සීහ සේනාපති සූත්‍රයේ සඳහන් වෙනවා පවත්ත මාංශය පිළිබඳව.

සීහ සේනාපතියා යනු සෝවාන් වූ අයෙක්‌. දිනක්‌ ඔහු බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේ පන්සිය නමක්‌ සමඟ තමන්ගේ ගෙදර දනට වඩින ලෙස ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා. සීහ සේනාපතියා නිවසේ සිටින සේවක පිරිසකට දානය පිළියෙල කරන්න උපදෙස්‌ දුන්නා.

එක්‌කෙනෙක්‌ යෑව්වා මස්‌ ගේන්න කියලා. වෙළෙඳපොළේ තියෙන මස්‌ (පවත්ත මාංශ) ගේන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. මසුත් පිළියෙල කරලා ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානය පිළිගැන්වූවා. මෙවැනි දේවල් සඳහන් සූත්‍ර ගණනාවක්‌ බුදුදහමේ දැක්‌වෙනවා. නමුත් අපි මේ අවස්‌ථාවේදී ඒ සියලු දේවල් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සමහරුන් මේ දේවල් දෘෂ්ටි වශයෙන් ගත හැකි නිසා මහාවග්ග පාලියේ භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කරන කොට නොවැළඳිය යුතු මස්‌ වර්ග ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම ආමගන්ධ සූත්‍රයේද සුත්ත නිපාතයේ ද මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම අටුවා සහ ටීකාවල මේ පිළිබඳව දීර්ඝ විස්‌තර සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ අධ්‍යයනයක යෙදී ඇති බැවින් මස්‌ කෑමට පක්‍ෂව හෝ විපක්‍ෂව ඇති තරම් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

නමුත් අපට මස්‌ මාංශ අනුභවය පිළිබඳව බුදු දහමේ සඳහන් කරුණු විකෘති කර දැක්‌වීමේ අයිතියක්‌ නැහැ. එය සාධාරණ වන්නේත් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දැඩි අන්තගාමී බවක්‌ කිසිවිටෙකත් දක්‌නට නැහැ. යම් භික්‌ෂුවකට වේවා පුද්ගලයකුට වේවා මානසික පීඩාවක්‌ ඇති වන්නේ නම් එය සමනය වන ආකාරයට ක්‍රියා කිරිම වරදක්‌ නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. විනයෙහි සඳහන් වන අන්දමට භික්‌ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍ය දෝෂයක්‌ ඇතිවී මස්‌ කෑමට සිදු වුණා. කෙතරම් බෙහෙත් කළත් අමනුස්‌සයන්ගේ මෙහෙයවීම නිසා එම භික්‌ෂුවට සුව වුණේ නැහැ. අවසානයේදී උන්වහන්සේට ඌරන් මරණ ස්‌ථානයකට ගොස්‌ අමු ඌරු මස්‌ කා උන්ගේ ලේ බීමට සිදුවුණා. ඉන්පසුව උන්වහන්සේට සුව වුණු බවයි විනයේ සඳහන් වන්නේ. අමනුස්‌සයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි, උන්වහන්සේ එම තත්ත්වයට පත්වුණේ. එහිදී උන්වහන්සේ කළේ වැරදි ක්‍රියාවක්‌ කියා පිළිගැනුණේ නැහැ.

තමන් විසින් සත්ත්වයකු නොමරා කවුරුන් හෝ මරපු සතුන්ගේ මස්‌ අනුභව කිරීම නිසා ප්‍රාණඝාතය කියන අකුසල කර්මය නම් සිදුවන්නේ නැහැ. එය ඉතා පැහැදිලියි. ප්‍රාණඝාත අකුසල කර්මය, සිදුවීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. සතෙකුවීම, පණ ඇති බව දැන ගැනීම, මැරීමේ ෙච්තනාව, උපක්‍රම යෙදීම සහ අවසානයේදී එම සතා මැරීම යන කරුණු පහ සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ.

මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සාහ කරමු. යම්කිසි කෙනෙක්‌ යම් සතෙක්‌ මරන්න උත්සාහ කරනවා. සතෙක්‌ බව දැනගෙන උගුලක්‌ද අටවනවා. එම අවස්‌ථාවේදී සතා උගුලෙන් බේරී පලා යනවා. එතැනදී ප්‍රාණඝාත අකුසලයක්‌ සිදු වන්නේ නැහැ. එම පුද්ගලයාගේ සිත ඒ අවස්‌ථාවේ ද්වේශසහගතව ක්‍රියාකිරීම පමණයි සිදුවුණේ. එය ඔහුව වෙහෙසට පත්කරනවා විනා ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවන්නේ නැහැ.

වෙළෙඳ පොළේ පවතින මස්‌ (පවත්තමාංශ) ගෙනැවිත් අනුභව කළාට ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. නමුත් මීට එරෙහි වන අය පවසන්නේ මස්‌මාංශ අනුභව කිරීමෙන් සතුන් මැරීමට අනුබල දීමක්‌ සිදු කරන බවයි.

ඔවුන් නඟන මේ තර්කය සාධාරණද? අපි ඒ ගැන විමසා බැලිය යුතුයි.

මනුස්‌සයා ඇතිවී තිබෙන්නේ ජීව විද්‍යාත්මක සාධක මතයි. එනිසා මේ දේවල් ලෝකයේ සහමුලින්ම නැතිකරන්න පුළුවන්ද? කෙනෙක්‌ හිතනවා නම් මස්‌මාංශ අනුභවය පවක්‌ කියා ඔහුට පුළුවන් ඉන් වැළකී සිටීමට. එහි වරදක්‌ නැහැ. නමුත් එම තත්ත්වය මුළු සමාජයේම ක්‍රියාත්මක කළ හැකිද? එය ප්‍රායෝගිකද? එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සතුන් මරණ මිනිසුන් සිටියා. අදත් සිටිනවා. ඉදිරියේදීත් සිටීවි. එය වෙළෙඳ ව්‍යාපාරයක්‌ වශයෙන් පවතිනවා.

හොඳයි අපි මොහොතකට හිතමුකෝ මස්‌මාංශ අනුභවය පවක්‌ කියා තර්ක කරන අය නිසා සමස්‌ත සමාජයම මස්‌, මාළු කෑම නතර කරයි කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ රටේ ධීවර අමාත්‍යාංශයක්‌ පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. හෘද සැත්කම් සඳහා මෝරා නමැති මත්ස්‍යයාගේ විශේෂ කොටසක්‌ පාවිච්චියට ගනු ලබනවා. මේ තත්ත්වය යටතේ එයත් වැළකී යනවා. එනිසා මස්‌ මාංශ අනුභවය පවක්‌ නිසා අප මේ සඳහා ඉදිරිපත් කරන විකල්ප මොනවාද?

මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සාකච්ඡා කරලා තිබුණා. දෙව්දත් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලුවා. ඉන් එක්‌ වරයක්‌ වුණේ මාංශ භක්‌ෂණයෙන් තොර විය යුතුයි යන කාරණය. එය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඕනෑ කෙනෙක්‌ එය පිළිගත්තාට වරදක්‌ නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ ප්‍රශ්නය මින් එහාට ගෙන ගියොත් පරම අවිහිංසාවාදී තත්ත්වයක්‌ යටතේ අපි කොහොමද ජීවත් වන්නේ. බුදුදහම කියන්නේ නිගණ්‌ඨයන්ගේ දහමක්‌ නොවේ. එවැනි අන්තවාදී අදහස්‌වලින් සමාජයට හානියක්‌ මිසක්‌ වාසියක්‌ වන්නේ නැහැ. මෙම මිථ්‍යා මත දරන්නන් නිසා යම් කෙනෙක්‌ මාංශ භක්‌ෂණයෙන් ඉවත් වුණා කියමුකෝ, මෙහි තව ටිකක්‌ දුරට ගමන් කළාම මොකද වෙන්නේ. ඒ අයට හිතෙන්න පුළුවන් නිවෙස්‌වල මකුළු දැල් කැඩීමත් වරදක්‌ කියලා. නිවෙස්‌ අතුපතුගාන එකත් වරදක්‌ කියලා. මොකද අතපතුගාන කොට ඒ ස්‌ථානවල පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්නේ. ගොවිතැන් කිරීමත් නුසුදුසුයි කියලා මේ අය හිතන්න පුළුවන්. පොළොව කොටනකොට පොළවේ සිටින සතුන් මැරෙනවනේ. ගොවිතැනට කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීමත් වරදක්‌ විදිහට පෙනෙන්න පුළුවන්. එවිට ගොවිතැනට හානිකරන සතුන් මැරෙනවානේ. වතුර ටිකක්‌ උණු කර බොන තත්ත්වයකුත් නැතිවෙයි. මොකද ඒවායේ ක්‌ෂුද්‍ර ජීවීන් සිටිනවනේ. අවසානයේදී හුස්‌ම ගැනීම, පොළොවේ ඇවිදීම පවා පවක්‌ කියල හිතන්න පුළුවන්. අප මේ මිථ්‍යාදෘෂ්ටික මත දරන්නන්ගේ හඬට ඇහුම්කන් දුන්නොත් අවසානයේදී අප කොහේටද ගමන් කරන්නේ. මේ තත්ත්වය යටතේ අපට සිදු වන්නේ ශ්‍රි ලංකාවෙන් බුදුදහම ඉවත් කිරීමටයි. මොකද ජීවත්වෙන්න බැරි පරිසරයක්‌ අර මිථ්‍යා මත දරන්නන් නිසා බිහිවනවානේ. අප ඊට ඉඩ දිය යුතුද?

මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.

පුංචි දරුවකුට පණු අමාරුවක්‌ හැදුනා කියමුකෝ. පණුවන් විනාශ කිරීමට බෙහෙත් කිරීම පවක්‌ කියලා හිතුවොත් මොකද වෙන්නේ. ප්‍රතිකාර නොලැබීම නිසා ඒ දරුවා මියයන්න පුළුවන්. එතකොට දරුවා මියයැමට සැලැස්‌වීම පාපයක්‌ නොවෙයිද?

එනිසා එක එක්‌කෙනාගේ ඔළුගෙඩි තුළ තිබෙන පුහු මත සමාජගත කිරීමට අවස්‌ථාවක්‌ නොදිය යුතුයි. අප ඊට අවස්‌ථාවක්‌ ලබාදුනහොත් සිදුවන්නේ විශාල විපතක්‌. මේ අය ඉදිරිපත් කරන කිසිකෙනකුට පදනමක්‌ නැහැ. පදනමක්‌ නැති කිසිදු සිද්ධාන්තයක්‌ නැති මත ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ සමාජ සංස්‌ථාව බිඳවැටීම පමණයි. සමාජයේ පැවැත්මට බාධා පැමිණවීම පමණයි. අද මේ ප්‍රශ්නය නිසා බොහෝ මිනිසුන් අසරණ වෙලයි සිටින්නේ.

සමාජයේ පැවැත්මට හානිකර ප්‍රශ්නයක්‌ අල්ලාගෙන සිටින මෙම පිරිසට අප රටේ සංවිධානය විය යුතු කොතරම් ප්‍රශ්න තියෙනවාද? ඇයි මේ පිරිසට බැරි මනුෂ්‍ය ඝාතන නොකරන සමාජයක්‌ වෙනුවෙන් හඬනගන්න. අද අවුරුදු තුනේ හතරේ පුංචි දරුවොත් අතවරයට ලක්‌වෙනවා. ඇයි ඒ වෙනුවෙන් මේ අය හඬ නගන්නේ නැත්තේ. අද මේ සමාජයේ හොරකම වැඩිවෙලා. ඇයි මේ පිරිසට ඒ වෙනුවෙන් හඬක්‌ නගන්න බැරි. ඒ වෙනුවෙන් සංවිධාන හදාගන්න.

සමාජ සහජීවනය බිඳ දමන මතිමතාන්තර හැදීමෙන් මේ අය සිදු කරන්නේ සමාජය තුළ විශාල හානියක්‌ ඇති කිරීමයි. මස්‌ මාංශ අනුභවය ඒ කාලයේදීත් තිබුණා. නමුත් ඒ පිළිබඳව මිනිසුන්ගේ ඔළුවලට මේ අදහස්‌ දැමීමක්‌ සිදුවුණේ නැහැ. අපි නොදැනුවත්ව සතුන් මැරීමක්‌ සිදුවීම ප්‍රාණඝාත අකුසලයට වැටෙන්නේ නැහැනේ. නමුත් ලෝභ දේවේශ මෝහ යන කාරණා අඩුවී අප මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වන විට මේ තත්ත්වය වෙනස්‌ වෙන්න පුළුවන්. වෙළෙඳ පොළෙන් මස්‌ අරගෙන පරිභෝජනය කරන කෙනෙකුට පවක්‌ සිදුවන්නේ නැහැ. නමුත් එම සතුන් පොළව මත සිටින බව ඔහු දන්නවනේ. සාමාන්‍ය ජීවිතයේදී නොවෙයි මාර්ගඵල ලාභී උත්තරීතර අවස්‌ථාවකදී එම තත්ත්වයෙන් පවා (මස්‌ කෑමෙන් පවා) වැළකෙන අවස්‌ථාවන් ඒවි. එවැනි තත්ත්වයකදී මස්‌ මාංශ අනුභවය ඉබේම වැළකෙන තත්ත්වයකුයි නිර්මාණය වන්නේ. එහෙත් යෑපීම් සඳහා මේ දේවල් සමාජයේ තියෙනවා. මෙයින් අපි අදහස්‌ කරන්නේ නැහැ සතුන් මැරිය යුතුයි කියා. නමුත් පවතින සමාජ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අප කලින් සඳහන් කළ ආකාරයට සමචර්යාවට ඉඩදීම විනා ඊට එහා ගොස්‌ සමාජය විකෘති කිරීමේ අයිතියක්‌ අපට නැහැ. තමන්ගේ ආවේගශීලී අදහස්‌ ඉදිරිපත් කිරීමට, බොරු සිල් පෙන්වීමට මිත්‍යා මත දරන්නන් කරන දේවල්වලින් සිදුවන්නේ මහා සමාජ විනාශයක්‌ පමණයි. මේ අයගේ ක්‍රියා කලාපය බලවත් වුවහොත් බුදුදහම සමඟ රැඳී ඉන්න බැහැ කියලා සමාජයේ මතයක්‌ ඇතිවිය හැකියි. බෞද්ධ පින්වතුන් බෞද්ධකමින් ඉවත්වී වෙනත් අදහස්‌ වැළඳ ගන්න තත්ත්වයක්‌ මේ නිසා නිර්මාණය විය හැකියි. මස්‌මාංශ අනුභවයට එරෙහිව මිත්‍යා මත වපුරන මේ අය සියුම් ලෙස මේ කරන්නේ බෞද්ධ ජනතාව ඉන් ඈත් කිරීමක්‌ද යන්න ඔබ අපට සැකසහිතයි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන්නේ ප්‍රයෝගික ලෙස ජීවත්වෙමින් බෞද්ධයන් ගෙවන ආගමික සහජීවනය බිඳ දැමීමයි.

මස්‌ මාංශ අනුභවය පිළිබඳව පුහු මත ඉදිරිපත් කරන මේ අයට බෞද්ධ විඥනයක්‌ නැහැ. බෞද්ධ චින්තනයක්‌ නැහැ. තමන්ට කටට ආපු දේ කියනවා. ඔවුන් සිදු කරන්නේ ජනප්‍රිය ලාභ සත්කාර ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාකිරීම පමණයි. මේ සම්බන්ධයෙන් සමහර මිත්‍යා මත ඉදිරිපත් කරන්නේ නිසි ලෙස පැවිදි උපසම්පදාවක්‌ ලැබූ භික්‌ෂුන් නොවේ. අපි ඒ අයට අභියෝග කරනවා යම් දවසක මේ පිළිබඳව අප සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා.

අද මේ ගැන කතා කරන අය සතුන් මරණ ආකාරය දක්‌වන වීඩියෝ පට පාසල්වල පවා දර්ශනය කරනවා. මේ හින්දා පුංචි දරුවන්ගේ පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මනස අවුල් වෙනවා. මෙවැනි වීඩියෝ පාසල්වල ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතුයි. ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි. නිරෝගී දරුවන්ගේ මානසික තත්ත්වය බිඳ දැමීමට මෙම මිත්‍යා මත දරන්නන්ට ඉඩනොදිය යුතුයි.

මස්‌ මාංශ අනුභවයට එරෙහිව පොතපත ලියන අය හෝ වේවා දේශන පවත්වන අය වේවා බුදු දහම ගැඹුරින් දකින්නැයිද ඒ ගැන අධ්‍යයනය කරන්න යෑයිද අපි ඔවුන් වෙත දැන්වීමට කැමැතියි. ධර්ම සන්නිවේදනයේදී ධර්ම සන්නිවේදකයා ඉතාමත් පරිස්‌සම් විය යුතුයි. අප සැත්කමක්‌ කරන අයුරින් ධර්ම සන්නිවේදනය කළ යුතුයි.

ත්‍රිපිටකයේම තියෙන මාංශ අනුභවය සම්බන්ධ තොරතුරු අප සොයා බැලුවා. අටුවාවේ සඳහන් කරුණුත් සොයා බැලුවා. ඒවගේම අපට වඩා තලතුනා ධර්මධර, විනයධර භික්‌ෂුන් වහන්සේලාගෙනුත් මේ ගැන විමසා බැලුවා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි අප මේ කරුණු අනාවරණය කරන්නේ. මස්‌ මාංශ අනුභවයට එරෙහිව මත ඉදිරිපත් කරන්නන් පසු විපරමක්‌ කරලා නැහැ. ඉන් සමාජයට වී ඇති හානිය පිළිබඳව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ අපිටයි. පුංචි දරුවන් ඇතුළු වැඩිහිටියන් මේ ගැන ඇති කරගෙන තිබෙන අනියත බිය නිසා අපට ඊට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. ඔවුනගේ අනියත බිය නැති කරන්න වෙලා තියෙන්නේ බුදුදහම පිළිබඳව ගැඹුරින් අදහස්‌ දක්‌වන්න පුළුවන් ස්‌වාමීන් වහන්සේලාට පමණයි. අප ඒ කාර්යය කළ යුතුයි. නැතිනම් සමස්‌ත සමාජයටම වෙන්නේ හානියක්‌.

මෙම මිත්‍යා ඉදිරිපත් කරන්නන් එය සමාජගත කිරීම සඳහා විශාල මුදලක්‌ වැයකර තිබෙනවා. මේ අයට මේ මුදල් කොයින්ද? මේක ජාවාරමක්‌. මෙම ජාවාරම කරන පිරිස කියන කතා, ප්‍රකාශ කර ඇති දේවල්වලින් බෞද්ධාගමට වන්නේ විශාල හානියක්‌. ඇතැම් අය භික්‌ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් පවා ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවේ. අප සමාජයේ මිනිසුන් මස්‌ මාංශ අනුභව කළා තමයි. නමුත් එහි ඇලුනේ නැහැ. ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිත අවුල් කරන මේ මිත්‍යා මත අප පරාජය කළ යුතුයි.

ධර්ම සංවාදය - වසන්ත ලියනගේ 

සාර්ථක දිවියකට මඟ කියන ධම්මපදය


සාර්ථක දිවියකට මඟ කියන ධම්මපදය




බුදු දහමේ නවාංග සත්ථු ශාසනයට ඇතුළත් ග්‍රන්ථයක් වන “ධම්ම පදය” බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල, යම් යම් පුද්ගලයන් අරභයා දේශනා කර ඇති ගාථා එකතුවකි.
චිත්ත වග්ග, යමක වග්ග ආදී වශයෙන් වර්ග 26කින් හා ගාථා 423කින් සමන්විත ධම්මපදය බෞද්ධයා ළඟ තබා ගත යුතු නිරතුරුව කියවිය යුතු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රක්තයකි. මෙම ගාථා තුළින් සිත පිළිබඳව, කර්මය හා කර්ම ඵල පිළිබඳව, ධෛර්යය හා උත්සාහය යන කරුණු රැසක්ම මෙහි අන්තර්ගතය. සිත සංවර කර ගැනීම, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ වටිනාකම, යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව අගනා කරුණු රැසක්ම “ධම්මපදය” තුළින් හෙළි කරයි.

ඡායාරූපය - ලක්ෂාන්
“ධම්ම පදය” බෞද්ධයන්ගේ අත් පොතක් වශයෙන් ද සළකයි. 1817 – 1818 වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් වීර කැප්පෙටිපොල නිලමෙතුමාද තමා මරා දැමීමට මොහොතකට පෙර තමා ළඟ තබාගෙන සිටි “ධම්මපදය” පොත එළියට ගෙන ඉන් ගාථාවක් කියා කඩුවට ගෙල තැබූ අයුරු අපි අසා ඇත්තෙමු.
ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කිරීමට පෙර ධම්මපදයේ ගාථාවක් ඉදිරිපත් කොට ඒ අනුව ධර්ම දේශනාව කරනු ලබති. එවන් වටිනාකමක් ඇති ධම්මපදය බෞද්ධයන් ළඟ තබා ගත යුතු, නිරතුරුව කියවමින් තම දිවි පෙවෙත සකස් කර ගැනීමට ඉවහල් වන අගනාම ධර්ම ග්‍රන්ථයකි.
“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං”

සියලු පාප ක්‍රියාවන්ගෙන් වැළකීමත්, කුසල් කිරීමත්, සිත දමනය කිරීමත් සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.
මේ ධම්ම පදයේ අඩංගු වටිනාම ග්‍රන්ථ රත්නයකි. ඒ තුළින් උපදේශයක් මෙන්ම බුදුදහමේ අඩංගු සියලු බුදුවරයන් වහන්සේ දක්වන සියලුම කරුණු කැටිකොට දැක්වීමකි. මේ ගාථාවේ කුසල් යනු භාවනා වඩමින්, සිත දමනය කිරීමෙන් ලබන කුසල්ය. පින හා කුසලය දෙකක් බව දැක්වෙන එක් තැනකි. සියලු පාපයන්ගෙන් වෙන්වීම යහපත් ජීවිතයකට මහත්ම රුකුලකි.
සිත පිළිබඳව කෙරෙන විග්‍රහය වෙනත් කිසිදු තැනක නොමැති විග්‍රහයකි.
“දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤ මෙස්සන්ති - මොක්ඛන්හි මාරබන්ධනං “

සිත දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති අතර එවැනි සිත සංවර කර ගැනීමේ වැදගත්කම මනාව විස්තර කර ඇත.
එමෙන්ම දූෂණය වූ සිතකින් යුතුව කරනු ලබන, කියනු ලබන දේ අනුව සිදුවන අකුසල විපාකත්, ප්‍රසන්න සිතකින් යුතුව කියන කරන දේ අනුව සිදුවන කුසලානිශංසයනුත් ධම්ම පදයේ පළමුවන හා දෙවැනි ගාථා දෙකින් දක්වා ඇත.
“මනෝ පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටෙඨ න – භාසතී වා කාරොති වා
තතෝනං දුක්ඛ මනෙවති – චක්කංච වහතො පදං”

අකුසල් විපාකය ගවයා අනුව යන රිය සක මෙන්ද, කුසලානිශංසය තමා අත් නොහැර යන සෙවනැල්ල මෙන්ද ගමන් කරන බව දක්වා ඇත. කුසලානිශංසය දැක්වීමේ දී එම ගාථාවේම
“තතොනං සුඛමනෙවති – ඡායාව අනපායිනී” යනුවෙන් දක්වයි. එහි “මනසා චෙ පසනෙනන” යනුවෙන් දක්වා ඇත. මේ ගාථාව පොදු ජනතාවගේ සිතට ඇතුළු වී ඇති ආකාරය “හය හතර නොදන්නො” යන වදනින්ද හෙළි වේ. හය හතර යනු සදිව්‍ය ලෝකයත්, හා සතර අපායයි. ඒවා පව් හා පින් අනුව ලැබෙන බවද දක්වා ඇත.
“උත්තිට්ඨෙ තප්ප ම ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරි සුඛං සෙති – අසමිං ලොකෙ පරමහිච”

අලසකම දුරින් දුරු කළ යුතු ය. උත්සාහවන්ත විය යුතු ය. අප්‍රමාදව කටයුතු කළ යුතු ය. සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ හැසිරෙන පුද්ගලයා මෙලොවත් පරලොවත් සුවසේ වාසය කරනු ඇත.
මේ උපදේශය යහපත් ජීවිතයකට අත්‍යවශ්‍යම එකකි. දියුණුව ලැබීමට මෙවැනි උපදේශ රැසක්ම මෙහි අඩංගු වේ. අලසකම පිරිහීමට හේතුවක් වේ.
ඉධමොදති පෙච්ච මොදති –
කත පුඤේඤා උභයත්ථ මොදති
සො මොදති සො පමොදති දිසවා
කම්ම විසුද්ධි මග්ගහො”

හොඳ දේ, පින් කළ පුද්ගලයා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි.
ජීවත් වීමට අවශ්‍ය උපදෙස් දෙන අතර බුදුන් වහන්සේ හොඳ ක්‍රියා තුළින් මෙලොව, පරලොව දෙකේදීම සතුටු විය හැකි බව දේශනා කිරීමෙන් පාප ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවන් කෙරෙහි නැඹුරු කිරීමට අනුබල දීමක් සිදුවේ.
“අප්ප මාදො අමත පදං - පමාදො මච්චුනො පදං
අප්ප මත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා”

අප්‍රමාදය නම් සිහියයි. අප්‍රමාදය (යහපත් සිහිය) නිවනට හේතු වෙයි. අසිහිය, ප්‍රමාද මරණයට විනාශයට හේතු වෙයි. සිහි ඇත්තෝ නොමැරෙති. මරණයෙන් කම්පා නොවෙති. ප්‍රමාදයෙන් දිවි ගෙවන්නා සැමදා මළවුන් වැනිය.
සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම මේ ගාථාවෙන් පෙන්වා දී ඇත. එළඹ සිටි සිහිය යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය වෙයි.
“උට්ඨාන වතො සති මතො - සුචි කම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්සච ධම්මජිවිනො -අප්ප මත්තස්ස ය සොහි වඩ්ඩති”

හොඳ සිහියෙන් කටයුතු කරන, උත්සාහයෙන් පසුබට නොවී කටයුතු කරන, නිරවුල්ව, පිරිසුදුව, නුවණින් විමසා කටයුතු කරන දැහැමි ජීවිතයක් ගත කරන අප්‍රමාද වූවන්ගේ ගුණ සුවඳ කීර්තිය වැඩෙනු ඇත.
යහපත් ජීවිතයකට මෙම ධර්මානුකූල අවවාද ඉතාම ඵලදායකය.
“සුඛා මතෙතය්‍යතා ලොකෙ - අථො පෙතෙත ය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකේ – අථො බ්‍රහ්මඤචතා සුඛා”

මේ ලෝකයෙහි මවටත්, පියාටත් උපස්ථාන කිරීම සැපයකි. භික්‍ෂූන් වහන්සේට සත්කාර කිරීමද සැපයකි. බුද්ධාදී උතුමන්ට සත්කාර කිරීම සැපයකි.

යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මාපියන්ගේ ආශිර්වාදය, උතුමන්ගේ ආශිර්වාදය, බොහෝ සේ වැදගත් වෙයි. මාපිය උපස්ථානයත් බුද්ධ පූජා, පැවැත්වීමත්, භික්‍ෂූන් වහන්සේට ගරු සත්කාර කිරීමත් සැපයට හේතු වෙයි.

“අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා
අත්තනාව සුදතෙනන – නාථං ලභති දුල්ලභං”


සැමදාම අනුන්ගේ පිහිටෙන් ජීවත් විය නොහැකි ය. අන් අයගේ උදව් උපකාර තාවකාලික වෙයි. කවදා කොයි මොහොතක හෝ තමා තනි වෙයි. තමාගේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නේ තමාටමය. තමාට එකම පිහිට තමාම බව වටහා ගත යුතු ය. ආත්ම විශ්වාසය ඇති කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන අගනා උපදේශයකි මෙහි ඇත්තේ.

“අත්තනාව කතං පාපං - අත්තනා සං කිලිස්සති අත්තනා අකං පාපං
අත්තනාව විසුජ්ඣති -සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤා විසොධයෙ”

තමා කළ වරද නිසා තමා අපිරිසුදු වෙයි. පාපයක් වරදක් නොකළේ නම් එයින් තමාම පිරිසුදු වෙයි. පිරිසුදුවීම අපිරිසුදුවීම තමාගේම ක්‍රියාවන් තුළින් සිදු වෙයි. අනිකෙක් වෙනත් කෙනෙකු අපිරිසුදු හෝ පිරිසුදු නොකරයි. මේ අනුව ලෝකයේ කිසිවෙකුට තවත් අයෙකුට තවත් යහපත් අයෙකු හෝ අයහපත් කළ නොහැකි ය. මෙයද ආත්ම විශ්වාසය ඇති කිරීමට ඉවහල් වන උපදේශයකි.

“ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති – අස්මිං ලොකෙ පරමහිච”


හොඳ නරක අවබෝධ කරගෙන යහපතෙහි සුචරිතයෙහි යෙදිය යුතු ය. අයහපතෙහි දුසිරිතෙහි නොයෙදිය යුතු ය. කුසල් දහමෙහි යහපතෙහි යෙදෙන්නා මෙලොවත් පරලොවත් සුවසේ වාසය කරයි.
තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් කරදරයක් නොවන සුචරිතයෙහි යෙදීමේ වටිනාකම මින් කියැවේ. සමාජ ශෝධනයට ද එය ඉවහල් වේ.
මේ ආකාරයෙන් ධම්ම පදය පුරාම යහපත් ජීවිතයක් පවත්වා ගැනීමට ඉවහල්වන අගනා උපදේශ රැසක්ම අඩංගු වේ. බොහෝ කරුණු ආර්ථිකය සංවර්ධනයට ද ඉවහල් වෙයි. නිරතුරුව ධම්ම පදය කියවීම තුළින් යහපත් සමාජයකට මං පෑදේවා යයි අපි පතමු.

මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද?

*යුග දිවියට බුදුදහමින් උපදෙස්    මළමිනියක් හා       දෙව්දුවක හා     ජීවත් වෙනවාද?           බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සි...