https://goo.gl/qWRZqc

Wednesday, August 30, 2017

පෝය 12 හා බැදුනු සිද්ධි

අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 Poyas in the Buddhist calendar and their significance.

සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ 

දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්‍රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් ) ඉල්(නොවැම්බර්) උදුවප් (දෙසැම්බර් ) යන නම් වලින්.. 

ඒ වගේම මේ මාසයකට පෝය දින 04 ක් තියෙනවා.. 


චන්ද්‍ර මාසයකපෝයනමින් අප හදුන්වන දින 4ක් ඇත.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය


බොහෝ දෙනා මේ ගැන දැන සිටියත් තවත් බොහෝ අයට මේ නම් අමතක වෙලා තියෙන්නත් ඇති...  
මොකද අපි මාස වල නම් භාවිතා කරන්නේ ඉංග්‍රීසි විදිහටනේ...

බෞද්ධයන් විදියට අපි මේ හැම මාසයකම පසළොස්වකපෝය දිනය ඒ මාසයට අදාල සිංහල ලිතේ නමින් සමරනවා.ඒ පින්දහම් කටයුතු හා ආගමික කටයුතු ඉටුකරමින්.. 
පෝය කියලා කිව්වම නිවාඩුවක් කියලා වගේම පන්සල් ගිහින් පින්දහම් කලත් , එක් පුජනීය ස්ථාන වැද බලා ගත්තත්,එක් එක් පොහෝය දිනය අප බුදුන්වහන්සේ ගේ චරිතය හා බැදුනු සිද්ධි පිළිබඳ සොයා බලන්නේ,දන්නේ බොහෝමත්ම ටික දෙනයි... 

අන්න ඒ නිසා අපි සමරන පෝය 12 හා බැදුනු සිද්ධි ගැන කෙටි විස්තරයක් තමා මේ “ඉසව්ව “ පැත්තට එක්වෙන්නේ.... 

තොරතුරු පොත පතෙන් වගේම අන්තර්ජාලයේ වු දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියේ දළදා වරුණ නම් සඟරාවෙනුත් එක්කර ගත්තා.. 
දළදා මාලිගාව වෙතින් නොමිලයේ බෙදා දෙන වැදගත් පොතක්..
මෙතනින් යන්න..
ඉතින් කියවලා බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා... 

වෙසක් පුර පසළොස්වක පෝය 
ලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල මෙම පෝය දිනයේදී සිදුවිය. 



ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම් ලෙස,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම, සුමන සමන් දෙවියන්‍ ගේ ආරාධනයෙන් සමනල කන්ද මුදුනේ ශ්‍රී පාදය පිහිට විම,විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නැකතට ආරම්භ කිරීම ආදිය වෙනවා... සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පොසොන් පුර පසළොස්වක පෝය
වෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට වැදගත්ම පෝය දිනයකි. 


මිහිඳු හිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනයේ වැඩිවශයෙන්ම අනුරාධපුරය හා මිහින්තලය වන්දනාමාන කරනු ලබයි.

ඇසළ පුර පසළොස්වක පෝය
බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ
“ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” පස්වග තවුසන් උදෙසා දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන 
භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. 
එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහැරත්, කතරගම , රත්නපුර, ඇම්බැක්කේ, දෙවිනුවර , අලුත් නුවර පෙරහැරත් ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.


මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දෙව්ලොවට වැඩමවා ගැඹුරු වු අභිධර්මය දේශණා කොට ඇත්තේද,බුදු පරිණිර්වාරනයෙන් පසු මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ධර්ම සංගායනාවක් කළ යුතු යැයි තීරණය කිරිමද මෙම පෝය දිනයේදි සිදුව ඇත.

නිකිණි පුර පසළොස්වක පෝය 
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

බිනර පෝය 
මෙහෙණි සසුන ආරම්භවූ පෝය දිනය ලෙස ‍බිනර පෝය දිනය සඳහන් වේ. බුදුන් වහන්සේගේ සුළු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටි අතර, ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ. 
එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
ධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

වප් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

ඉල් පුර පසළොස්වක පෝය
ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

උඳුවප් පුර පසළොස්වක පෝය
සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

දුරුතු පුර පසළොස්වක පෝය
බුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම සිදුවන අතර වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

නවම් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

මැදින් පුර පසළොස්වක පෝය
බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.

බක් පුර පසළොස්වක පෝය
බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. මැණික් පුටුවට යුද්ධයකට එළඹුනු චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම ද එදින සිදුවිය.

Tuesday, August 29, 2017

මතක බත් දානය

BlogTemplate
මළවුන් සිහිකොට මතක බත් දානය දුන් මිනිසුන්ගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මතක බත් දානය යන කරුණ අපේ රටේත් තවමත් භාවිතා වෙනවා. කෙනෙක් මියගිය විට හත්දවසේ බණ කියවද්දි එයට කියන්නෙත් මතක බණ කියලයි. හත්දවසේ දානයට කියන්නේ මතකබත් දානය කියලයි. ඒ පැරණි වචනය තවමත් භාවිතා වෙනවා. ‘මත’ කියන්නේ ‘මිය ගිය’ යන තේරුමට යි. මියගිය කෙනා වෙනුවෙන් කියැවෙන බණ ‘මතකබණ’ යි. මිය ගියවුන් වෙනුවෙන් දෙන දානය ‘මතකදානය’ යි. දැන් කාලේ කරන්නේ ඒ මියගියවුන් වෙනුවෙන් පිනක් ඉපදවෙන ආකාරයේ උතුම් චාරිත්‍රයක යෙදීම යි. ඒ තුළින් මියගිය ඤාතීන් සැපවත් වෙනවා.
නමුත් බුද්ධකාලේ සැවැත් නුවර තිබුනේ වෙන ක්‍රමයක්. මිය ගියවුන් උදෙසා ඒ කාලේ මිනිස්සුත් මතකබත් දානයක් බ්‍රාහ්මණයන්ට දුන්නා. ඒ දානය වෙනුවෙන් ගොඩාක් එළුබැටලුවෝ මරණවා. ඒ සතුන් මරවලා ඒ මස් උයලයි දානය දුන්නේ.
සැවැත්නුවර පිඬුසිඟා වැඩිය භික්ෂූන් වහන්සේලාට මේ මිනිස්සු සතුන් මරා මතකබත් දානයට සූදානම් වෙන ආකාරය දැකගන්නට ලැබුනා. ඒ භික්ෂූන් සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක වන්දනා කොට ඒ කාරණය විමසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මිනිස්සු බොහෝ ප්‍රාණීන්ගේ ජීවිත වනසලා බ්‍රාහ්මණයන් කැඳවලා මියගිය අය වෙනුවෙන් මතකබතක් දෙනවා. මේ ක්‍රමයේ මතක බතකින් කිසියම් දියුණුවක් තියෙනවා ද?”
“මහණෙනි, කිසි දියුණුවක් ලැබෙන්නේ නෑ. මතකබතක් දෙනවා කියලා ප්‍රාණඝාතයෙන් රැස්වෙන පවේ නම් දියුණුවක් වේවි. ඉස්සර කාලේ හිටපු නුවණැත්තෝ ආකාසේ වැඩහිඳගෙන බණ කියලා ඔය ආකාරයේ මතක බතේ ඇති නපුරු විපාක පෙන්නා දුන්නා. එතකොට යි ඒ කාලේ දඹදිව මිනිස්සු සතුන් මරා දෙන මතකබත් දානය අත්හැරියේ.”
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඒ අතීත කථාව කියා දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා.
“මහණෙනි, ඉතා ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත කියල රජෙක් වාසය කළා. ඒ කාලෙ තුන්වේදයේ ම පරතෙරට පත් දිසාපාමොක් ආචාර්ය වූ එක්තරා බ්‍රාහ්මණයෙකුට මතකබතක් දෙන්න ඕනා වුනා. ඔහු ඒ වෙනුවෙන් එළුවෙක් ගෙනාවා. තම ශිෂ්‍යයෙකුට කතා කරලා මෙහෙම කිව්වා.
“දරුව…. මේ එළුවා ගඟට ඇන්න ගොහින් හොඳ හැටියට නාවපන්…. ඊට පස්සෙ බෙල්ලට මල් මාලයක් දාලා, ශුද්ධ අළුවලින් ඇඟිලි පහ ම හිටින්ට ඉරි ඇඳලා මෙහෙ ඇන්න වරෙන්.”
එතකොට ඒ ශිෂ්‍යයා අර එළුවාව ගඟට ගෙනිහින් නෑව්වා. මල් මාලයක් පැලැන්දුවා. ඇඟිලි පහ ම හිටින්ට ශුද්ධ අළුවලින් ඉරි සලකුණු තිබ්බා. ගංගා තීරයේ එළුවාව තිබ්බා.
එළුවා දන්නවා දැන් එයාව මරන්නයි යන්නේ කියලා. මේ පෙර ආත්මේ කරපු කර්මයක්. මේ ආත්මෙන් ඒ කර්මය අවසන් වෙනවා කියලත් දැක්කා. දැකලා කළයක් බිඳින්නැහේ මහා හඬින් සිනහසුනා. ඊට පස්සෙ තමන්ව මරණ බ්‍රාහ්මණයාට මොකක්ද වෙන්නේ කියලා බැලුවා. තමන්ට මෙතෙක් අත්වූ දුක්ඛිත ඉරණම මේ බමුණාටත් අත්වෙනවා නේද කියල ඔහු ගැන මහා දුකක් හටගත්තා. එතකොට එළුවා මහා දුක්ඛිත හඬකින් හැඬුවා.
එතකොට ඒ බමුණා ගේ ශිෂ්‍ය පිරිස එළුවා වටකරගෙන ප්‍රශ්න කළා. “මිත්‍ර එළුව… ඇයි නුඹ මහා සද්දේට හිනාවෙලා හිට ටික වෙලාවකින් හඬන්න පටන් ගත්තේ?”
“අනේ…. ඔය කාරණය මගෙන් අහන්න ඕනා මෙතැන නොවෙයි. නුඹලා ගේ ආචාර්ය බ්‍රාහ්මණයා ළඟට මාව එක්කරගෙන යන්න. එතැනදී මං කියඤ්ඤං.”
එතකොට ඔවුන් එළුවා රැගෙන ආචාර්ය බ්‍රාහ්මණයා ළඟට ගියා. මේ සියලු විස්තර පවසා සිටියා. බ්‍රාහ්මණයා එළුවාට කතා කළා.
“හරි…. එළුවෝ…. දැන් කියාපන්…. මහා හඬින් හිනාවුනේ ඇයි?…. ඊට පස්සේ හඬාවැටුනේ ඇයි?”
“බ්‍රාහ්මණය…. මට මගේ පෙර ආත්මේ මතක් වුනා. මාත් පෙර ආත්මේ ඔහේ වගේම හොඳට වේදය ඉගෙන ගත්තු බ්‍රාහ්මණයෙක්. මාත් මතකබතක් දෙන්න ඕනා කියලා එළුවෙක් මැරුවා. දානෙත් දුන්නා. ඒ එක එළුවෙකු මරාපු පවෙන් හාරසිය අනූනව ආත්මයක් ම හිස ගැසුම් කෑවා. මේ පන්සිය වෙනි ආත්මේ. මේ ආත්මෙන් මගේ ඒ පාපෙ ඉවරයි. ඒ දුකින් මං නිදහස් වෙනවා නේද කියල සිතුනාම මට සන්තෝෂෙට හිනා ගියා.
ඊළඟට මට හැඬුනේ මේකට යි. ‘දැන් මේ බ්‍රාහ්මණයා මාව මරලා මං දුක් විඳිනවා වගේම පන්සියයක් ආත්ම හිසගැසුම් කන්න වෙනවා නේද! මහා දුකකට පත්වෙනවා නේද!’ කියල හිතුනා. ආන්න ඒකටයි මට හැඬුනේ!”
“ප්‍රිය එළුව… ඔබ භයගන්ට කාරි නෑ. මං නුඹව මරන්නෙ නෑ.”
“බ්‍රාහ්මණය, ඔබ මොනවද මේ කියන්නෙ? ඔබ මාව මැරුවත්, නොමැරුවත් අද සිදුවෙන මගේ මරණෙන් මාව මුදවන්ට සමත් කෙනෙක් නෑ.”
“නෑ…. එළුව… භය වෙන්ට එපා. මං නුඹට ආරක්ෂාව දෙනවා. නුඹත් සමඟ ම හැසිරෙනවා”
“නෑ බ්‍රාහ්මණය, මට ඔබෙන් ලැබෙන්නේ ස්වල්ප ආරක්ෂාවක්. නමුත් මා විසින් එදා කරපු පාපය ම යි මහා බරපතල.”
එතකොට බ්‍රාහ්මණයා එළුවාට නිදහසේ ඉන්න හැරියා. මේ එළුවාව කාටවත් මරන්න දෙන්නේ නෑ කියල එළුවත් අරගෙන ශිෂ්‍ය පිරිසත් සමඟ පිටත් වුනා. එතකොට එළුවා ගල්තලාවක් මතට දිව්වා. එතැන තිබුණ පැලෑටි පඳුරකට නැගී බෙල්ල උස්සලා ඒ පැළෑටිවල කොළ කන්න පටන් ගත්තා. සැනින් ම අහස ගොරවලා අර ගල්තලාවට හෙණයක් පාත් වුනා. හෙනේ වැදුන තැනින් ගල් පතුරක් විසිවුනා. කෙළින් ගිහින් එළුවා ගේ බෙල්ලට වැදිලා හිස කඳින් වෙන් වුනා! මේ සිදුවීම බලන්න මිනිස්සු රැස්වුනා.
මේ සිදුවීම බලාගෙන හිටියා එතන එක් රුක් දෙවියෙක්. ඒ රුක් දෙවියා වෙන කවුරුවත් නොවේ බෝධිසත්වයෝ. ඉතින් ඒ දෙවියා තමන්ගේ දේවානුභාවයෙන් මහාජනයාට තමන්ව පේන්න සැලැස්සුවා. අහසේ පළඟක් බැඳගෙන වාඩිවුනා. මිහිරි සරින් මේ ගාථාව පැවසුවා.
“ඉදින් දනිත් නම් ලෝවැස්සෝ
ඉපිද මැරෙන මේ දුක උපදින තැන
නැති කිසිදා කිසි සතෙකු මරන්නේ
සතුන් මරන්නා සොව ම ලබන්නේ”
ඉතින් ඒ දෙවියා මහාජනතාවට සතර අපායේ දුක ගැන කියාදුන්නා. භයානක නිරයේ වැටී අනන්ත දුක් විඳින සතුන් ගැන කියාදුන්නා. ඒ බණ ඇසූ මිනිස්සු මතකබත් පිණිස සතුන් මැරීම අත්හැරියා. දානාදී පින්කම් කරන්න පටන් ගත්තා. ඒ කාලේ රුක් දෙවියා වෙලා සිටියේ මම යි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න, එදා ඒ මිනිස්සු තමන්ට කරුණු පහදා දෙන්න කෙනෙක් හිටියෙ නැති නිසා පව් කළේ. නමුත් අප මහා බෝසත් දෙවිඳා බණ කියූ නිසා ඔවුන්ට පවේ භයානකකම වැටහුනා. පව් අත්හැරියා. පින් රැස්කළා. දැන් අපට ඒ මහාබෝසතුන් සම්බුදු බව ලබා බුදු කෙනෙකුන් හැටියට වදාළ ධර්මය තියෙනවා. ඒ ධර්මය ඉගෙන අපිත් පව් අත්හරිමු. පින් රැස්කරමු.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අමා දම් රස වෑහෙන ධම්ම පදය

අමා දම් රස වෑහෙන ධම්ම පදය

පගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත පතළ මහා කරුණාවෙන්මයි ශ්‍රී සද්ධර්මය වදාළේ. ශාස්තෘ ශාසනය වශයෙනුත් එය හඳුන්වනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් ඒ ශාස්තෘ ශාසනය අංග නවයකින් යුක්තයි.
ධම්ම පදයේ ඇතුළත් වන්නේ ‘ගාථා’ නම් වූ ශාස්තෘ ශාසනයයි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන්වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන්ගේ අරුත් අවබෝධ කරගෙන ඒ අනුව ජීවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත්මිදී ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකිය.
වරක් සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් ගැන ගුණ සඳහන් ගාථා කීපයක් පැවසීය. එහි එක් ගාථාවක කදිම දහම් පදයක් තිබේ.
“ඒකස්මිං බ්‍රහ්මචරියස්මිං – සහස්සං මච්චු හායිනං”
“එක දහම් පදයක මරු පරදවා සිටින රහතන් වහන්සේලා දහසක් වැඩඉන්නවා.”
(ස.නි. 01)
එය කොතරම් සැබෑවක්දැයි පෙනෙන්නේ ඉතා හොඳින් සිහි නුවණින් යුක්තව දහම් පද හදාරණ විටය. ‘ධම්මපදය’ තුළිනුත් ඔබට ඒ අසිරිමත් ගුණය දැක්ක හැකිය.
‘ධම්මපදය’ වර්ග හෙවත් කොටස් විසි හයකින් සමන්විතයි. ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා විසිනුයි එසේ කොටස් කරණ ලද්දේ.
පරම පිවිතුරු බුද්ධ වචනය පිළිවෙලකට සකස් කිරීමේදී ඒ උත්තම රහතන් වහන්සේලා විසින් දක්වන ලද කුසලතාව ආශ්චර්යයකි. උන්වහන්සේලා විසින් ඒ ඒ මාතෘකාවන්ට අනුව ඒ ඒ ගාථාවන් කොටස් කරණ ලදී.
යමක වර්ගය‘ ගාථා විස්සකින් යුක්තයි. එහි ඇතුළත්ව තිබෙන්නේ නොයෙක් තැන්වලදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවන් යම්කිසි ක්‍රමානුකූල පිළිවෙලකට යුගල වශයෙන් ගැළපීමෙනි. ‘යමක’ යනු යුගලයට කියන නමකි. එහි සිත ගැනත්, ජීවිතය ගැනත්, දහම් මාවත ගැනත් ඉතා අර්ථවත් දහම් කරුණු සඳහන්ව තිබේ. ධම්මපදය ආරම්භ වන්නේ මෙම යමක වර්ගයෙන්ය.
ඊළඟට ඔබට හමුවන්නේ ‘අප්පමාද වර්ගය‘යි. අප්‍රමාදය යනුවෙන් මෙහි අදහස් වන්නේ කුසල් දහම් රැස් කරගැනීම පිණිස කෙනෙකු තුළ තිබිය යුතු හදිස්සියයි. අකුසල් දුරු කිරීමටත්, කුසල් රැස් කිරීමටත් වීර්ය කරන්නේ ඒ හදිස්සිය නිසාය. බුදුවරයන් වහන්සේලා හැමවිටම අගය කරන්නේ අප්‍රමාදයයි. ප්‍රමාදයේ ආදීනවත්, අප්‍රමාදයේ ආනිසංසත් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා සුන්දර අයුරින් පහදා දෙන ආකාරය මෙම අප්‍රමාද වර්ගයෙන් ඉගෙන ගත හැකිය. මෙම වර්ගය ගාථා දොළොසකින් ප්‍රතිමණ්ඩිතයි.
සිත ගැන ඔබට බොහෝ දේ ඉගෙන ගත හැකි ආකාරයෙන් අපූරු ගාථාවලින් සමන්විත ‘චිත්ත වර්ගය‘ ඔබට හමුවෙන්නේ තුන්වන වර්ගය වශයෙනි. මෙය වනාහී ගාථාරත්නයන් එකොළොසක් ඇති ස්වර්ණමය මඤ්ජුසාවක් වැන්න. නොමඟ ගිය සිතේ අනතුරත්, සුමඟට ගත් සිතේ සැනසුමත් මේ ගාථාවලින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා මනහර ලෙස අපට පෙන්වා දෙන සේක.
සතර වැනි වර්ගය ‘පුෂ්ප වර්ගය‘යි. මල් උපමා කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද උතුම් ගාථා රත්නයන් දහසයක් කියවීමේ භාග්‍යය ඔබට මෙම වර්ගයෙන් උදා වේ.
ඊළඟට හමුවන්නේ ‘බාල වර්ගය‘යි. මෙහි ‘බාලයා’ යනු කුඩා දරුවන්ට කියන නමක් නොවේ. ශ්‍රී සද්ධර්මයෙහි බාලයා වශයෙන් හඳුන්වන්නේ, පින් පව් නොහඳුනන, සත්පුරුෂයන් අසත්පුරුෂයන් නොහඳුනන, මඟ නොමඟ නොහඳුනන, සම්මා දිට්ඨිය මිථ්‍යා දෘෂ්ටිය නොහඳුනන, පෘථග්ජන පුද්ගලයාය. බාලයාගේ ප්‍රඥා රහිත මානසිකත්වයත්, පුහු අහංකාරකමත්, දුෂ්ටකමත් ගැන කදිම තොරතුරු රැසක් ගාථා දහසයකින් සමන්විත මෙම බාල වර්ගයෙන් ඉගෙන ගත හැකිය.
මහරහතන් වහන්සේලා විසින් තථාගත ශ්‍රී සද්ධර්මයට අයත් උතුම් ගාථා රත්නයන් පෙළ ගැස්වීමේදී ඊළඟට තෝරා ගන්නේ පණ්ඩිතයා පිළිබඳ ගාථාවන්ය. හයවැනි වර්ගය වන මෙම ‘පණ්ඩිත වර්ග‘යේ ගාථා දාහතරක් ඇතුළත්ය. මෙහි පණ්ඩිතයා යනු උපාධියක් දරණ පුද්ගලයෙකුට කියන නමක් නොවේ. රහතන් වහන්සේට කියන නමකි. ප්‍රඥා සම්පන්න සත්පුරුෂ උත්තමයාගේ ගුණත් එබඳු මහෝත්තමයන්ගේ ඇසුරේ වටිනාකමත් මහත් සේ අගය කරමින් අපගේ බුදු සමිඳාණන් විසින් ‘පණ්ඩිතයා’ව පෙන්වා දෙන අයුරු ඉතා මනහරය.
රහතන් වහන්සේ පිළිබඳ ඉතාමත් සුන්දර ලෙස හඳුන්වාදෙන ගාථා දහයකින් යුක්ත හත්වන වර්ගය ඊළඟට ඔබට හමුවේ. එය හඳුන්වන්නේ ‘අරහන්ත වර්ගය‘ නමිනි. මෙවන් යුගයක පවා අපට ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන මෙපමණකින් හෝ දැනගන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද?
දහස බැගින් විස්තර වන කරුණු ඇතුළත් ගාථා දහසයකින් යුක්ත අට වන ‘සහස්ස වර්ගය‘ට දැන් ඔබ පිවිසේ. එමෙන්ම සියය වශයෙන් ගෙන වදාළ ගාථාවන්ද ඔබට මේ තුළින් කියවිය හැකිය. ධර්මානුකූල ජීවිතයක වටිනාකම හඳුනාගැනීමට මෙයම කෙනෙකුට ප්‍රමාණවත්ය.
පාපය යනු දුරු කළ යුතු දෙයකි. සියලු බුදුවරයන් වහන්සේලා අනුශාසනා කරන්නේද සියලු පවින් දුරුවීමටය. පවේ ස්වභාවයත්, අඥාන ජනයා පවට ඇලුම් කරන ආකාරයත්, එහි භයානක ප්‍රතිවිපාකත් ගැන අපගේ බුදු සමිඳාණන් වදාළ ගාථා රත්නයන් දහතුනකින් ප්‍රතිමණ්ඩිත ‘පාප වර්ගය’ ධම්මපදයේ ඇතුළත්ව තිබෙන්නේ නව වන වර්ගය වශයෙනි.
ඊළඟට හමුවන්නේ ‘දණ්ඩ වර්ගය‘යි. දණ්ඩ යනු දඬුවමයි. දඬුමුගුරුවලටද දණ්ඩ යයි කියනු ලැබේ. ප්‍රඥා රහිත පුද්ගලයා නිරයේ උපත දක්වාම තම දඬුවම ලබාගන්නා අයුරුත් සියලු පවින් වෙන් වෙන භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් ගාථා දාහතකින් යුක්ත මෙම දණ්ඩ වර්ගයෙන් කදිමට දැක්වේ.
වයසට ගොස් ජරා ජීර්ණත්වයට පත්වීම උපතත් සමඟ කෙනෙකුට ලැබෙන දුක්ඛිත ඉරණමකි. මේ යථාර්ථය අවබෝධ කරගන්නා ප්‍රඥාසම්පන්න ආර්ය ශ්‍රාවකයා ජරා මරණ රහිත අමා නිවන කරා යන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගමන් කරයි. ඒ ගැන අවබෝධය ඇතිවෙන ගාථා එකොළොසකින් යුක්ත ‘ජරා වර්ගය‘ ඔබට කියවන්ට ලැබෙන්නේ එකොළොස්වන වර්ගය වශයෙනි.
ධම්ම පදයේ මාතෘකා පිළිවෙල ගොනු කර තිබෙන ආකාරය ඉතාම සුන්දරය. ඊළඟට ඔබට හමුවන්නේ තමා ගැන කියැවෙන උතුම් ගාථා දහයකි. එය හඳුන්වන්නේ ‘අත්ත වර්ගය‘ නමිනි. ඉතාමත් වගකීමෙකින් යුක්තව තමාව සුරක්ෂිත කරගැනීමේ භාරදූර කාර්යභාරය පැවැරී තිබෙන්නේ තමාටම බව මැනැවින් පෙන්වා දෙන මේ උතුම් ගාථාවන් අප දැනගෙන සිටිය යුතුමය.
අපගේ බුදු සමිඳුන් විසින් ලෝකය ගැන වදාළ ගාථා රත්නයන් දොළොසක් ඇතුළත් ‘ලෝක වර්ගය‘යි ඔබට ඊළඟට හමුවන්නේ. ජීවිතය නම් වූ ලෝකය අවබෝධ කරගැනීමට ඔබට මෙම උතුම් ගාථාවන් ඉවහල් වනු නිසැකය.
දාහතර වන වර්ගය වශයෙන් අපට හමුවන්නේ ‘බුද්ධ වර්ගය‘යි. මෙහි උතුම් ගාථාවන් දහඅටක් ඇතුළත් වේ. සම්බුදුරජාණන් වහන්සේලා ගැන බුදු සමිඳාණන් විසින්ම වදාරණ ලද රමණීය තොරතුරු ඔබට මෙම බුද්ධ වර්ගයෙන් ඉගෙන ගත හැකිය.
සැපයට කවුරුත් කැමැතිය. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වන්නේම ලෝක සත්වයා දුකින් නිදහස් කොට සැපත කරා රැගෙන යාම පිණිසය. සැපය යනු කුමක්දැයි ඉතාම නිවැරදි ලෙස තේරුම් ගැනීමට උපකාරී වන උතුම් ගාථාවන් දොළොසකින් යුතු ‘සුඛ වර්ගය‘ කියවීමේ භාග්‍යය ඔබට උදාවන්නේ පසළොස්වන වර්ගය වශයෙනි.
ලෝකයේ ඉතාම ප්‍රියමනාප පුද්ගලයා කවරෙක්දැයි දැනගැනීමටත්, ඉතාමත් ප්‍රියමනාප පරිද්දෙන් තමන්ට පුණ්‍ය විපාක පල දෙන ආකාරය දැනගැනීමටත් ඊළඟට හමුවන ‘පිය වර්ගය‘ කියවිය යුතුය. මෙහි ඇතුළත් ගාථාවන් සංඛ්‍යාව දොළොසකි.
ක්‍රෝධය යනු ඉතාම භයානක දෙයකි. එවන් භයානක දෙයක් තම සිත තුළ රඳවාගෙන සිටීමෙන් අනතුරු සිදුවන්නේ තමාටමය. ඒ නිසා සිත, කය, වචනය සංවර කරගෙන ක්‍රෝධය පරදවා දැමිය යුතු ආකාරය කදිමට පෙන්වා දෙන උතුම් ගාථාවන් දාහතරකින් යුතු ‘කෝධ වර්ගය‘ ඔබට ඊළඟට කියවිය හැකිය.
අපගේ බුදු සමිඳාණන් විසින් මහා කරුණාවෙන් වදාරණ ලද ගාථා විසිඑකකින් යුක්ත ‘මල වර්ගය‘ ඊළඟට හමුවේ. මල යනු මලකඩය. සද්ධර්මයේ සඳහන් වන්නේ කෙලෙස් මලකඩ ගැනය. ඒ කෙලෙස් මලකඩ දුරු කරගත යුතු ආකාරය මෙහි කදිමට විස්තර වේ.
ඊළඟට දහනව වන වර්ගය වශයෙන් හමුවන්නේ ‘ධම්මට්ඨ වර්ගය‘යි. මෙහි ඇතුළත් ගාථාරත්නයන්ගේ සංඛ්‍යාව දාහතකි. ධර්මයේ පිහිටි ජීවිතය ගැන ඉතා සුන්දර තොරතුරු රැසක් මේ ගාථාවන්ගෙන් අපට ඉගෙන ගත හැකිය.
ඒ අමා නිවන කරා යාමට ලෝකයේ තිබෙන්නේ එකම එක මාර්ගයකි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ උතුම් නිවන් මඟ පිළිබඳ අපූර්ව අර්ථ විවරණයන් ගෙන් යුක්ත ගාථා රත්නයන් දාහතකින් යුක්ත ‘මග්ග වර්ගය‘ කියැවීමෙන් ඔබට දැනගත හැකිය.
විසි එක්වන වර්ගය වශයෙන් අපට ධම්මපදයෙන් හමුවන්නේ ‘පකිණ්ණක වර්ගය‘යි. පකිණ්ණක යනු විවිධ මාතෘකාවන්වලට අයත් ගාථාවන් එක් රැස් කොට සකස් කළ කොටස හැඳින්වීමට යොදන නමකි. මෙහි ගාථාවන් දහසයක් තිබේ. ඉතාම පිවිතුරු සදහම් අරුත් රස වැගිරෙන උතුම් ගාථාවන් කියැවීමෙන් ජීවිතයට අපමණ යහපතක් උදා කරගත හැකිය.
අසත්පුරුෂ පාපී පුද්ගලයන්ගේ ජීවිතය බොහෝ විට නිමා වන්නේ නිරා දුකට පත්වීමෙනි. එනිසා පාපය, අධර්මය, දුෂ්ටකම, අදමිටුකම දුරුකළ යුතුමය. ඒ සඳහා අප කවුරුත් කියවිය යුතු මහානීය ගාථා රත්නයන් දාහතරක් ‘නිරය වර්ග‘යෙන් හමුවේ. මෙම වර්ගය ධම්ම පදයේ විසිදෙවෙනි වර්ගයයි.
නාග යනු හස්තිරාජයාට කියන නමකි. හස්තිරාජයා උපමා කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථා ඇතුළත් කොටස ‘නාග වර්ගය‘ නම් වේ. මෙහි ගාථා දාහතරකි.
සංසාර දුකට මුල් වූ හේතුව තණ්හාවය. ඒ තණ්හාව අයිති වන්නේ ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍යයටයි. ඒ තණ්හාව පිළිබඳ නොයෙක් ආකාරයෙන් වදාළ ගාථා විසිහයක් ‘තණ්හා වර්ග‘යෙන් අපට හමුවේ. තණ්හාව ප්‍රහාණය කරගැනීම පිණිස අපිත් ඒ ගාථා තුළින් මතුවෙන අර්ථ අවබෝධ කරගනිමු.
ධම්මපදයේ විසිපස් වන වර්ගය ‘භික්ඛු වර්ගය‘යි. මෙම භික්ෂු වර්ගයේ ගාථා විසිතුනක් තිබේ. සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත් රහතන් වහන්සේ යනු සැබෑම භික්ෂුවයි. බුදු සසුනක සිටින භික්ෂුව කවරෙක්දැයි හඳුනාගැනීමට භික්ෂු වර්ගයෙන් ලැබෙන්නේ අපමණ පිටුවහලකි.
අවසාන වර්ගය වශයෙන් ධම්මපදයෙන් හමුවන්නේ ‘බ්‍රාහ්මණ වර්ගය‘යි. බ්‍රාහ්මණයා යනු බුද්ධ කාලයේ සමාජ තලය තුළ ජීවත් වූ උසස් පුද්ගලයාය. අපගේ බුදු සමිඳාණන් ජීවිතයක උසස්කම මනින්නේ උපතින්, ධනයෙන්, බලයෙන් හෝ උගත්කමින් හෝ නොවේ. ජීවිතයක ගොඩ නගාගන්නා ගුණධර්ම වලිනි. එනිසාම උන්වහන්සේ බ්‍රාහ්මණයා යන වචනය රහතන් වහන්සේට යෙදූ සේක. අරහත් භික්ෂුව හඳුන්වාදීම පිණිස බ්‍රාහ්මණ යන වචනය ඉතාමත් අර්ථවත් ලෙස භාවිත කරමින් අපගේ බුදු සමිඳුන් වදාළ ගාථා හතළිස් එකක් මෙම බ්‍රාහ්මණ වර්ගයෙන් හමුවේ.
ධම්මපදයට ඇතුළත් මුළු ගාථා සංඛ්‍යාව හාරසිය විසිතුනකි. ඔබත් මේ ධම්මපදයේ උතුම් ගාථාවන් අර්ථ සහිතව ඉගෙන ගන්න. තමන්ගේ ජීවිතය අවබෝධ කරගැනීම පිණිස භාවිතයට ගන්න. පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ අමා දහම් රස අත්විඳින්න.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද?

යුග දිවියට බුදුදහමින් උපදෙස්



  මළමිනියක් හා 
    දෙව්දුවක හා    ජීවත් වෙනවාද?



          බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සිදුවීමක් ගැන සදහන්ව තිබේ. දිනක් සක්දෙව් රජ විසින් මනු ලොව දෙසට වන්දනා කරනු ලබයි. සිය රියදුරු මාතලී දිව්‍ය පුත්‍රයා මේ පිළිබද කළ විමසීමකදී සක් දෙවිදු ප්‍රකාශ කළේ මෙවැන්නකි. 

               "යේ ගහට්G පු[a[කරා 
               සීලවතෝ උපාසකා 
               ධම්මේන දාරං පොසන්කී 
               තං නමස්සාමි මාතලී"

          මාතලී යම්කිසි ගිහි උපාසකයෙක් කුසල් දහම් රැස්කරමින් තම භාර්යාව ධර්මානුකූලව පෝෂණය කරන්නේ නම් මම ඔහුට නමස්කාර කරමි...." යන්න එහි අදහසයි.
         මෙයින් පෙනී යන්නේ බෞද්ධ ගිහි උපාසකයා යනු විවාහක තැනැත්තෙකු ලෙස පිළිගත් බවයි. බෞද්ධ ඉගැන්වීම් අතර විවිධ සූත්‍ර දේශනාවල ගිහියා යනු විවාහක පුද්ගලයකු සේ සලකා කළ දේශනා දක්නට ලැබේ. සිඟාලෝවාද, මංගල, පරාභව,වසල වැනි සූත්‍රවල පැහැදිලි කර ඇති ගිහි විනය හා යුතුකම්, වගකීම් පද්ධතිය වලංගු වන්නේ විවාහක ගිහි උපාසකයාටයි. අනොන්‍ය විශ්වාසයෙන් හා ආදරයෙන් බැඳී සිටින විට ප්‍රේමණීය යුවතිපතියන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. නකුලමාතා - නකුලපිතා එවැනි යුවලකි. අවිවාහක හෙවත් අඹූසැමි සබඳතාවන්ගෙන් තොරව ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී පිළිවෙතක් ලෙස පිළිගන්නා බුදුසමය, ස්වදාර සන්තුෂ්ටියෙන් ගතකරන ජීවිතය ගෘහස්ථ බ්‍රහ්මචරියාව ලෙස පිළිගනී. තම බිරිඳගෙන් පමණක් සතුටු වන, පරදාර සේවනයෙන් තොරවූ ගිහි උපාසකයා ගත කරන්නේද "බ්‍රහ්මචාරී දිවි පෙවතකි" යන්න මින් තහවුරු වෙයි. එය ගිහි බඹසර නම් වේ. 
 මේ අනුව විවාහය යනු යහපත් මිනිසෙක් හා යහපත් ගැහැනියක් එක්වීමෙන් ගොඩනගන සදාචාර සම්පන්න ප්‍රතිපත්ති පිරීමක් බව පිළිගත හැකිය. එය සැමියා වෙනුවෙන් බිරිඳ විසින් පුරනු ලබන පතිවත හා සිය බිරිය වෙනුවෙන් සැමියා විසින් පුරනු ලබන පතිවත විවාහයක උදාරතර අරුත සනිටුහන් කරයි. විවිධ අදහස්, සිතුම් පැතුම් සහිත දෙදෙනෙක් විවාහය නැමති රැහැනින් එක්වී එක් අරමුණක ගමන් කිරීම විශිෂ්ට වූ ප්‍රතිපදාවකි. බුදු සමය වැනි උදාරතර ආගමක් එම ප්‍රතිපදාවේ සැබෑම යථාර්ථය සමාජයට තිලිණ කරයි. යහපත් බිරිඳක් හා සැමියෙක් එකට වාසය කිරීමේදී ඉස්මතුවන විවිධ ගැටලූ තම යුග දිවියට බාධකයක් බවට පත් කර නොගනී. ඔවුනොවුන් බුද්ධිමත්ව සාකච්ඡා කොට එම අභියෝග ජයගනී. මේ අනුව විවාහයේදී අඹුසැමියන්ගේ සිතුම් පැතුම් වල සමාන අසමානකම් සැලකිල්ලට ගෙන සතර ආකාරයේ පවුල් සංස්ථාවක් ගැන බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දෙයි. එනම්,
1. මළමිනියක් මළමිනියක් හා විසීම 
2. මළමිනියක් දෙව්දුවක හා විසීම 
3. දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම 
4. දේව පුත්‍රයෙක් මළමිනියක් හා විසීම 
       මෙහිදී මළමිනියක් ලෙස අර්ථ දක්වා ඇත්තේ අදැහැමි, උදාසීන පහත් ගති සිරිත් ඇති ගැහැනුන් හා මිනිසුන්ය. සදාචාර සම්පන්න විනීත ගති පැවතුම් ඇති ස්ත්‍රී පුරුෂයන් දේව යන්නෙන් අදහස් කරයි. බිරිඳත්, සැමියාත් දෙදෙනාම ප්‍රගතිශීලී ගති පවතුමින් තොරව උදාසීනව හා දුසිරිතට බරව ජීවිත ගත කරන්නේ නම් ඒ පවුල් සංස්ථාව දියුණුවට පත් නොවන්නා සේම අතෘප්තිමත් හා අසහනයෙන් යුතුව කල්ගත කිරීමට සිදුවේ. ඉවසීමෙන් තොරව ජීවන ගැටලූ හිස මත රුවාගෙන අඩදඹර හා කලකෝලාහල වලින් යුතුව පවුල් ජීවිත ගත කරන අඹුසැමියෝ විවාහය නැමති උතුම් පිළිවෙත ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විනාශයට පත් කර ගනී. දේව පුත්‍රයෙක් බඳු සැමියෙකු දෙව්දුවක් වැනි බිරිඳක් සමග ගත කරන සුන්දරවූ පුණ්‍යවන්ත ජීවිතය මුළුමහත් මානව සමාජයටම ආශිර්වාදයකී. ඔවුන්ගෙන් බිහිවන දරු සම්පත අනිවාර්යයෙන්ම දේව දූතයන්සේ ලෝකය සුවපත් කරන්නට හුරුපුරුදු වෙති. යහපත් යුග දිවියකට "බිරිඳ" යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. බිරියගේ ඇතැම් ගති පැවතුම් සැමියාගේ චර්යාවන් වුවද යහපත් හා ගුණාත්මක බවකින් පවත්වා ගැනීමට සමත් වෙති. එවැනි භාර්යාවන් සත් දෙනකු ගැන බුදුදහමේ දැක්වෙන්නේ මෙසේය.
1. වධක සම (වධකයකු වැනි බිරිඳක්) 
2. චෝරි සම (සෙරක් වැනි බිරිඳක්) 
3. අය්‍ය සම (අධිපනියක වැනි බිරිඳක්) 
4. මාතු සම (මවක් වැනි බිරිඳක්) 
5. භගිනි සම (නැගණිය වැනි බිරිඳක්) 
6. සබී සම (මිතුරියක වැනි බිරිඳක්) 
7. දාසි සම (දාසියක වැනි බිරිඳක්) 
මෙයින් මුලින්ම දැක්වෙන තුන්දෙනා ඉතාමත් අයෝග්‍ය බවත් සෙසු සිව් දෙනා යහපත් බවත් පෙනී යයි. ලිංගිකත්වය ඇතුළු ලෞකික ආශාවන්ගේ ආකර්ෂණය ස්ත්‍රීතත්වය හා පුරුෂ භාවය සමීප කරවන්නේ ලෝකස්වභාවයට අනුවයි. එම මනෝ මූලික අවශ්‍යතා හා ආකර්ෂණයන් පහව ගිය විට පහළ වන ප්‍රතික්කූලතාවය බොහෝ විට අනෙකාගේ ගුණ මකා දොස් ඉස්මතු කරයි. ජීවිතයේ සැබෑ ස්වභාවය හා සිය සහකරුගේ හෝ සහකාරියගේ අගය වටහා ගත් තැනැත්තෝ ඔවුනොවුන්ගේ අවබෝධය හා විශ්වාසය පදනම් කරගත් විශිෂ්ට වූ විවාහ දිවියක් ගත කරති.

යහ පාලනයක ආර්ථික පිළිවෙත

*යහ පාලනයක ආර්ථික පිළිවෙත

      රටක ආර්ථිකය සම්බන්ධයෙන් රජය අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳ මත දෙකක් මෑත යුගයේ ප්‍රචලිත ව තිබිණ. එනම්: ආර්ථික කටයුතු පෞද්ගලික අංශයට භාර දී, රජය සියලු ආර්ථික කටයුතුවලින් ඈත් වී සිටිය යුතු ය යන්න හා සියලු ආර්ථික කටයුතු රජය විසින් මෙහෙයවිය යුතු ය යන්න ය.
මෙයින් පළමුවැන්න ධනවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද දෙවැන්න සමාජවාදි අර්ථක්‍රමය ව්‍යාප්ත වීමට ද හේතු විය. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් රජය අනුගමනය කළ මේ ක්‍රියා මාර්ග දෙක අසාර්ථක වූ බව පෙනී ගිය පසු යහ පාලනය සම්බන්ධ වෙනස් අදහසක් ඉදිරිපත් වූයේ ය. එහිදී සාර්ථක රාජ්‍ය ලෙස පෙන්වා දෙන ලද්දේ ආර්ථික කටයුතු සම්පූර්ණයෙන් ම පෞද්ගලික අංශයට භාර දුන් රාජ්‍ය හෝ සියලු ආර්ථික කටයුතු රජය පවරාගත් රාජ්‍ය හෝ නො වේ. රජයේ කාර්යභාරය නිවැරදි ව හැඳිනගෙන, එය පමණක් සපුරාලීමට ඉදිරිපත් වූ රාජ්‍ය සාර්ථකත්වය ලබන බව නිගමනය කරන ලදි. සොයා බැලීමකින් තොර ව හා අවශ්‍ය රාජ්‍ය මගපෙන්වීම හා පාලනය නිසි සේ ඉටු නොකර පෞද්ගලික අංශයට රටක ආර්ථිකය භාරදීම ඉතා භයානක හා අසාධාරණ තත්ත්ව උද්ගත කරවයි. අනෙක් අතට හැම කාර්යයක් ම රජයට පවරා ගැනීමෙන් ද එවැනි ම පරිහානියකට පත් වේ.

රජයේ කාර්යභාරය හඳුන්වා දෙන ‘යහ පාලන’ රාජ්‍ය සංකල්පය තුළ මේ මූලික කරුණු අවධාරණය වේ:
* නෛතික පදනම සැකසීම
* මූල්‍ය ආයතන කාර්යක්ෂම ව පවත්වාගැනීම හා සාර්ව ආර්ථික පරිසරය නිසි අයුරු සැකසීම
* මූලික සමාජ කාර්යයන්හි සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙහි ආයෝජනය කිරීම
* පීඩාවට පත් වන ජන කොටස් රැකගැනීමෙහි ලා කටයුතු කිරීම
* පරිසරය සංරක්ෂණය කිරීම යන කාර්ය එහිදී වැදගත් වේ.
      සුදුසු ව්‍යවස්ථා හා නීති-රීති සම්මත වී තිබුණු කරමින් එය ප්‍රමාණවත් නො වේ. ඒ නීති-රීති හරිහැටි ක්‍රියාවට නැංවීම ද අවශ්‍ය ය. නීති කැඩීමට ඉඩ නොදිය යුතු අතර, සොරකම, අපරාධ සිදු වීම නතර කළ යුතු ය. පාරිභෝගිකයන් සූරා කන වංචා, දූෂණ ආදිය නැති කළ යුතු වන අතර, සාධාරණ බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අවශ්‍ය ය. පෞද්ගලික ව්‍යවසායකයන්ගේ වැරදි, අඩු-පාඩු නැති කිරීමට පමණක් නො ව, ඔවුන් දිරි ගැන්වීමට කළ යුතු කාර්ය ද ඉටු කළ යුතු ය. රජය අනවශ්‍ය දෑ බදා නොගෙන මේ කාර්යය නිසි අයුරු ඉටු කරන්නේ නම් එය කාර්යක්ෂම යහ පාලනයක ස්වභාවය වේ.
රටක පාලනය ද, ආර්ථිකය ද සදාචාරාත්මක විය යුතු බව අවධාරණය කැරෙන බුදු දහමෙන් ඉදිරිපත් වන්නේ යහ පාලනයක් ම ය. එහිදී අනුගමනය කළ යුතු මූලධර්ම සක්විති වත්, අපරිහානීය ධර්ම හා දස රාජ ධර්ම යන සමාජ සදාචාර ධර්ම පද්ධතීන්හි ඇතුළත් වේ.
      රටේ සෑම ජන කොටසකට ම රක්ෂාවරණගුප්තිය සැලසීම රජයක මූලික වගකීම බව පළමු වන සක්විති වතට ඇතුළත් වේ. පළමු සක්විති වතෙහි රටේ ජන කොටස් වෙන් වෙන් ව නම් කර තැබීමෙන් කිසිදු රට වැසියකු අතනොහැර මේ ආරක්ෂාව දිය යුතු බව අවධාරණය වේ. එසේ ම සත් වැනි වගන්තියෙහි මිනිසුන්ට අමතර ව ජීව පරිසරය රැකගැනීමේ වගකීම ද රජයට පැවරේ. වෙන ම නම් වශයෙන් දැක්වෙන ජන කොටස් මෙසේ ය: රජ පවුලේ සාමාජිකයන්, ආරක්ෂක සේවාවලට ඇතුළත් අය, රාජ්‍ය සේවාවන්හි නියුක්තයන්, රටේ ප්‍රභූ පක්ෂය, ගම්-නියම්ගම්හි ජනතාව, පූජ්‍ය-පූජක පක්ෂය සහ සත් වැනි ව මෘගපක්ෂීන් හෙවත් සත්ත්ව ප්‍රජාව ය.
      මෙයින් සමස්ත මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව රැකගැනීමේ වගකීම රජය සතු බව පෙන්වා දෙනු ලැබේ. රක්ෂාවරණගුප්තිය යන්නෙන් ත්‍රිවිධාකාර ආරක්ෂාවක් සැපයීම කියැවෙන බව අටුවාව විස්තර කරයි. ආහාරපාන ආදිය සැපයීමෙන් ලබා දෙන ආරක්ෂාව පළමු වැන්න ය. ආවරණ යනු නිවෙස්, ඇඳුම් ආදිය සැපයීම යි. තෙවැන්න ගුප්තිය යි. එනම් විශේෂ අවස්ථාවන්හිදී සැලසිය යුතු විශේෂ ආරක්ෂක සංවිධානය යි. රටක ආක්‍රමණ වැනි අවස්ථාවලදී, යුද්ධ තත්ත්ව ඇති විට සලසන රැකවරණය එයට අයත් වේ.
මේ විස්තරය අනුව රටවැසියන්ගේ සියලු ආර්ථික කටයුතු රජය විසින් සැපයිය යුතු ය යන්නක් ගම්‍ය වේ යැ යි යමකුට සිතිය හැකි යි. එහෙත් එය එසේ නොවන බව කූටදන්ත සූත්‍රයෙහි ඇතුළත් ආර්ථික සංවිධානය පිළිබඳ විස්තරයෙන් හෙළි වේ. එහි කියැවෙන පරිදි රටේ ආර්ථික සංවිධානය ගොඩනැංවිය යුත්තේ රජයේ ද පෞද්ගලික අංශයේ ද සම්බන්ධය ඇති ව ය.
රටක විවිධ දක්ෂතා ඇති, විවිධ රුචිකම් ඇති පුද්ගලයෝ වෙති. ගොවිතැනෙහි නිරත වීමට කැමැති එවැන්නවුන්ට බීජ ධාන්‍ය, පොහොර, ගවයන්, නගුල් වැනි ගොවි උපකරණ සපයා, ඔවුන්ගේ අස්වැන්න ලබාගන්නා තෙක් ආහාරපාන සැපැයීම රජයේ කාර්යභාරයට අයත් වේ. මෙසේ කෘෂිකර්මය දියුණු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු ලෙස දැක්වේ.
වාණිජ කටයුතු සඳහා උනන්දු වෙන්නෝ වෙති. ඔවුන්ට මූලධනය අවශ්‍ය ය. රජය විසින් එය සැපැයීමට ක්‍රියා කළ යුතු ය. සාර්ථක වාණිජ ව්‍යාපාර බිහි වන්නේ එවිට ය.
රාජ්‍ය සේවා සඳහා කැමැත්තක් දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද රටක දැකිය හැකි යි. ඔවුන්ට රැකියා සැපැයෙන විවිධ කර්මාන්ත බිහි කිරීමත්, විවිධ රාජ්‍ය සේවා ඇරැඹීමත් මගින් රාජ්‍ය අංශය ශක්තිමත් ලෙස පවත්වා ගෙන යා යුතු ය.
      පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා රජයේ දිරි දීම හා රජයේ සහභාගිත්වය, පෞද්ගලික අංශය මෙහෙයැවීමටත් එහි දූෂණ අක්‍රමිකතා නැති කිරීමටත් අවස්ථාවක් රජයට ලබා දෙයි. මහා පරිමාණ කර්මාන්ත හා ව්‍යාපාර සම්බන්ධයෙන් මේ තත්ත්වය ඉතා හිතකර ප්‍රතිඵල ලබා දීමට සමත් වේ.
      සුළු පරිමාණයෙන් නොයෙකුත් ශිල්ප කර්මාන්තයන්හි යෙදෙන්නෝ රැසක් රටක වෙසෙති. ඔවුන්ට අවශ්‍ය දිරි දීම් සොයා බලා සැකැසීම ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකත්වයට මෙන් ම රටේ පොදු ආර්ථික සංවර්ධනයට ද හේතු වේ.
      බදු ප්‍රතිපත්තිය රට වැසියාට හිතකර පරිදි ගොඩනැංවීම සඳහා ඉදිරිපත් වී ඇති කරුණු ද රැසකි. නුසුදුසු බදු හා නුසුදුසු අවස්ථාවල බදු අය නොකිරීම ඒ අතර ඉතා වැදගත් වේ. රටේ දුෂ්කර සමයන්හි අතිරේක බදු අය කිරීමට ද, ඇතැම් දුෂ්කරතාවන්ට මුහුණ පෑ ජන කොටස් සඳහා සමෘද්ධිමත් පුද්ගලයන්ගෙන් විශේෂ බදු අය කිරීම ද කාලානුරූප ව කිරීම අනුදැන ඇත.
      පවුල නම් වූ කුඩා ම සමාජ ඒකකය සුරක්ෂිත වූ ද ස්ථාවර වූ ද පදනමක පිහිටුවීම රජයක වගකීමකි. දරුවන් සමඟ පී‍්‍රතියෙන් බිය සැකයෙන් තොර ව මිනිසුන්ට ගෘහ ජීවිතය ගත කිරීමට හැකි වන අයුරු පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කූටදන්ත සූත්‍රයෙහි පෙන්වා දී තිබේ. මේ සඳහා රටේ කැරලි, සොරකම් ආදිය නැති ව යා යුතු ය. මිනිසුන් කණ්ඩායම් ගැසී මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹෙන්නේ ඔවුන්ට කළ හැකි රැකියා රටෙහි නැති වූ විට ය. ඒ නිසා වැඩ කළ හැකි හැම රට වැසියකුට ම යෙදීමට ජීවනෝපාය සලසාගැනීමට රැකියාවක්, වෘත්තියක්, ශිල්පයක්, කර්මාන්තයක් හෝ සේවාවක් තිබෙන බවට රජය වගබලාගත යුතු ය.
      මෙයින් පැහැදිලි ව පෙන්වා දී ඇත්තේ රටවැසි සැමගේ සියලු අවශ්‍යතා සපයා දීම රජයේ කාර්යයක් ය යන්න නො වේ. එය කවර අයුරින් හෝ සිදු වන බවට වගකීම රජය දැරිය යුතු යි. රැකියා අවස්ථා සැපැයෙන පරිදි පෞද්ගලික අංශය මෙහෙයවීම රජය සතු වගකීම ය. එසේ ම ජනතාව පීඩාවට පත් නොවන අයුරු, දූෂණය, අපරාධ, සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීම රජය සතු වගකීම ය. සක්විති වත්හි එක වගන්තියකින් කියැවෙනුයේ රටේ අපරාධ සිදු නොවන පරිදි සාමය පවත්වාගෙන යෑමේ වගකීම රජය සතු වන බව ය.
      ධනවාදි ආර්ථිකයක පෞද්ගලික අංශය මෙන්, මිනිසා ද ආර්ථික භාණ්ඩ බවට පත් කරගත්, ලාභය එක ම අරමුණ වූ නිහීන තත්ත්වයකට, බෞද්ධ සදාචාරය විසින් හැසිරැවෙන ආර්ථික පෞද්ගලික අංශය කිසි විටෙක පත් නො වේ. එහෙත් පෞද්ගලික අංශය විසින් එතරම් සැලකිල්ලක් නොදැක්වෙන සමාජ කොටස් රටක තිබිය හැකි යි. සමාජ සේවාවන්හි නිරත වුව ද එවැනි කොටස් සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමට පෞද්ගලික අංශය අපොහොසත් විය හැකි යි. එසේ ම රජයකට විනා සාර්ථක ව මුහුණ දිය නොහැකි භෞතික වූ හෝ සමාජීය වූ හෝ ප්‍රශ්න රටක පැනනැඟීමට අවකාශ තිබේ. මේ නිසා රජය විශේෂයෙන් සොයා බැලිය යුතු අංශ කිහිපයක් ද වෙයි:

* නිෂ්පාදන ආර්ථිකයට සහභාගි නොවන පැවිදි පිරිස්
* විවිධාකාර ශාරීරික මානසික ආබාධයන්ගෙන් පෙළෙන අසරණ පිරිස්
* යුද්ධ, කෝලාහල, ගැටුම් පවතින අවස්ථාවන්හිදී අනාථ වන පිරිස්
* ආපදාවන්ට ලක් වී අනාථ වන ජනතාව

මෙවැනි ජන කොටස් කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය සැපයීම අත්‍යවශ්‍ය කාර්යයකි.
මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලින් හෙළි වනුයේ යහ පාලනයක අපේක්ෂිත සියලු යහපත් ලක්ෂණ බුදු දහමෙහි රාජ්‍ය පාලන උපදෙස් තුළ ඇතුළත් බව යි. තව ද කරුණු රැසක් සූත්‍ර ධර්මයන්හි දක්නට ලැබෙතත්, ආර්ථිකය සංවිධානයෙහි ලා රාජ්‍ය අංශයෙන් බලාපොරොත්තු වන කාර්යභාරය තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත් ය.
-ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි

*කයෙහි තිබෙන ඇත්ත

*කයෙහි තිබෙන ඇත්ත

කයෙහි තිබෙන ඇත්ත ගැනම පවතීවා නිතර සිහිය…

    සැබැවින්ම ගෞතම බුදුරජුන්ගේ ධර්මය අසිරිමත් එකකි. කා – බී – වැතිර කාම සැපයම ජීවිතයේ එකම අරුත වශයෙන් ගෙන, සසරේ අතරමංව සැරිසරන දෙව් මිනිස් ලෝකයාට ඒ නිස්සාර සසරෙන් එතෙර වී සදාතනික සැපය සාක්ෂාත් කරන්නට මග විවර කර දෙන්නේ ඒ ශ‍්‍රී සද්ධර්මය පමණි. මායා මෝහ පටල දුරලා ජීවිතයේ සැබෑ ස්වභාවය පෙන්වා දෙන ඒ ශ‍්‍රී සද්ධර්මය කෙනෙකුට අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් විට ඒ සඳහා කල්ප ගණනාවක් වුවත් ගතවන්නට පුළුවනි.

එහෙත්…. පිපාසයට පැන් බිඳක් හෝ නොමැතිව නිරුදක කතරක අතරමංව, ක්ලාන්ත වී සිටින මිනිසෙකුට පැන් දෝතක් ලැබුණොත් ඔහුට ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි අන්දමේ පිහිටකි. එලෙසින්ම සසරේ අතරමංව නිරයෙන් – නිරයට, අපායෙන් – අපායට යමින් කෙළවරක් නොපැණෙන සසරක සැරිසරන මනුෂ්‍යයෙකුට මේ ශ‍්‍රී සද්ධර්මය අමෘතය බඳුය. කෙලෙස් පිපාසය සංසිඳුවයි. නිරුදක කතරට වඩා සැම අතින්ම බියකරු සසර කතරින් එතෙර කරවයි. එහෙත් ඒ සොඳුරු මොහොත දැන් ඔබට උදා වී තිබේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නුවණ මෙහෙයවිය හැකි නම්….. ඔබ සැබැවින් ම වාසනාවන්ත ය. මෙම සටහන ඒ සඳහා ඔබට අවස්ථාව විවර කරදීමට ගන්නා සුළු උත්සාහයකි.

උපන් දා පටන් ‘මගේ, මගේ’ යැයි පවසමින් උජාරුවෙන් ලොවට හඬ ගා කියන්නට වෙර දරන ඔබේ ඔය සිරුර දෙස මොහොතක් හැරී බලමු. සෑම දිනකම නොවරදවාම නහවන, ඉලීම් – පිරිමැදීම් ආදියෙන් පිරියම් කරන, සුවඳ පැන් – විලවුන් ගල්වන, ආහාර ආදියෙන් පෝෂණය කරවන, නානාප‍්‍රකාරයේ ඇඳුම් ආයිත්තම් ආදියෙන් හැඩ වැඩ කරන්නට වෙහෙස දරන මේ සිරුරේ සැබෑ ස්වභාවය කෙබඳු දැයි ඔබ කෙදිනක හෝ සිතා තිබේද?

ජීවිතයේ සැබෑ තතු නොදන්නා මිනිසුන් මේ ‘කය’ සාරවත් දෙයක් ලෙස සිතුවද, ජීවිතය අවබෝධ කොට ලොවට නොඇලී, ලොවින් නිදහස් වූ මුනිවරු නම් ඇට, මස්, නහරින් ගැවසී ගත් කය දෙස බැලූවේ මේ අයුරිනි.

“මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒ අය මේ ශරීරය විසිතුරු ලෙස සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නැහැ.

මුතු මැණික් ආභරණවලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වය මයි දැකිය යුත්තේ. ලස්සනට පේන්නේ ඇඳුම නිසා.

යටි පතුල් පාට කොට තිබුණ ද, සුවඳ බුලත්විට කා මුඛය සුවඳ කරගෙන හිටිය ද, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයාගෙන යන කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ.

කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන හොයාගෙන යන කෙනෙකුට එයින් වැඩක් නැහැ.

මේ කුණු ශරීරය තියාගන්නට හදන්නේ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නැහැ.”

                                                                                    (රට්ඨපාල තෙරුන් ගේ ගාථා – ථේර ගාථා)

මෙබඳු වූ ස්වභාවයකින් යුතු කය පිළිබඳව සැබෑ තත්වය නොදන්නා පුහුදුන් ජනයා මේ කය සම්බන්ධයෙන් දක්වන පුරාජේරුව කොතරම් මහත්ද? එයට හේතුව කයෙහි සැබෑ ස්වභාවය නොදන්නාකම ම විනා අන් කවරක්ද?

වෙළඳපලෙහි ඇති නානා මාදිලියේ සුවඳ විලවුන් වලින් වසන්නට තැත් කරන්නේ ඒ කයෙන් හමනා දුගඳ ය. විවිධාකාරයේ ආලේපන වලින් මකා දමන්නට තැත් කරන්නේ රැළි වැටී යන සම ය. නොයෙක් නම් වලින් යුතු සබන් ආදියෙන් පිරිසිදු කරන්නට උත්සාහ ගන්නේ සිරුරෙහි වන අපිරිසිදු දෑ ය. එහෙත්…. නිරන්තරයෙන් අපිරිසිදු දේ වහනය වන මේ කය පිරිසිදු කොට අවසන් කිරීමක් නැත!

නමුත් අපට එක් දෙයක් කළ හැකිය. එනම් කය අවබෝධ කිරීමයි. කය අවබෝධ කොට, කයෙන් නිදහස් විය හැකිය. එවිට නම් නැවත නැවතත් කය පිරිසිදු කිරීමක් නැත. සුවඳ විලවුන්, සුවඳ පැන්, ආලේපන ආදියෙන් ද සදහටම නිදහස් විය හැකිය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? එ් නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                                   (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (බොහෝ විට මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්ඡුකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                        (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

මෙතරම්ම අපිරිසිදු, මෙතරම්ම පිළිකුල් දෙයින් නිමැවී මේ කය දෙස සුන්දර ලෙස බලන්නට අප පෙළඹුණේ මක් නිසාදැයි ඔබ කල්පනා කොට තිබේද? අපගේ ශාස්තෘන් වහන්සේ එය පැහැදිළි කළ සේක. අවිද්‍යා අන්ධකාරය තුළ සිටින සත්වයා යමක් හඳුනාගන්නේ එහි සත්‍යය ස්වභාවයෙන් ම නොවේ. එය ධර්මයෙහි හඳුන්වන්නේ ‘සඤ්ඤා විපල්ලාසය’ හෙවත් විපරීත හඳුනාගැනීම වශයෙනි. එම විපරීත හඳුනාගැනීමට අනුව අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීමටත්, දුක් දේ සැප ලෙස දැකීමටත්, අනාත්ම (ස්වකීය වසඟයෙහි පවත්වාගත නොහැකි) දේ ආත්ම ලෙස දැකීමටත්, අසුභ දේ සුභ වශයෙන් දැකීමටත් තරම් මුලා වී සිටිති.

යථාර්ථය දැකීම යනු මෙය නොවේ. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීමත්, දුක් දේ දුක් හැටියට දැකීමත්, අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමත්, අසුභ දේ අසුභ හැටියට දැකීමත් යථාර්ථයයි. අහෝ! සසරෙහි සැරිසරන අප කොතරම් මුලා වී ඇද්ද?

මේ මුලාවෙන් අපව මුදවා ගන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මුල මැද අග පිරිසිදු ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි ලෙස අර්ථ මතුවන ආකාරයට පරිපූර්ණ වූ නිවන් මඟ දේශනා කරන ලද්දේ ඒ උදෙසා ය. උන්වහන්සේ විසින් දේශිත ඒ ශ‍්‍රී සද්ධර්මය මුළුමනින්ම යොමු වී ඇත්තේ මේ මෝහ ජාලය බිඳ හැර සත්‍යාවබෝධ කරවන්නට ය. අවිද්‍යා අන්ධකාරය දුරු කොට ප‍්‍රඥාවේ ආලෝකය තුළින් සදාතනික ශාන්තිය උදාකර දීම පිණිස ය. කයෙහි යථා ස්වභාවය දෙස අප බැලිය යුත්තේ යථෝක්ත පාරිශුද්ධ අරමුණ මුදුන්පත් කරගැනීම පිණිස ය.

මොහොතක් ඔබ ඔබේ කය දෙස සිත යොමන්න…. මෙබඳු වූ කයක් පරිහරණය කරමින් ඔබ කොතරම් රෝග පීඩා, ජරා ජීර්ණවීම් වලට මුහුණ දෙනවාද? අතීතයේ සිදුවූයේ ද එය ම ය. අනාගතයේ දී වන්නේ ද එය ම ය.

මීට වසර දෙදහස් හයසියයකට ඉහතදී ලොව පහළ වූ අසහාය මුනිවරයාණන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කොට ගෙන එයින් නිදහස් වන මාවත අපට පැහැදිලි කරදුන් සේක. උන්වහන්සේව සරණ ගොස්, උන්වහන්සේ පෙන්වා දුන් මාවත ඔස්සේ පියවර මැනීමෙන් පමණක් අපට ද සදාතනික වූ ශාන්තිය උදාකර ගැනීමේ වාසනාව උදාවනු ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.

වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.

“ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? ඒ නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”

                                                                                             (නකුලපිතු සුත්ත – ස.නි.)

අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?

උපන් දා පටන් (ඇත්තෙන්ම මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්චකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ – නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.

එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.

“තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”

                                                                                                                 (මාගන්දිය සුත්ත – සු.නි.)

සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.

කයෙහි යථා ස්වභාවය මැනැවින්ම දන්නා අයෙක් වේ නම්, ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන්නා වූ මේ කයෙහි ඇත්ත ස්වභාවය බැලූ බැල්මට අපට ප‍්‍රකට නොවේ. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට නුවණින් යුතුව විමසා බලන විට ය, මෙතෙක් කල් සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් සිතා සිටි මේ ශරීරයෙහි සත්‍ය ස්වභාවය පැහැදිලි වන්නේ.

කය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම්ම පුළුල් දැයි අපට යන්තමට හෝ සිතාගත හැක්කේ මෙබඳු සදහම් දෙසුම් සැදැහැ සිත් පුබුදුවාගෙන කියවා බලන කල්හි ය.

“මහණෙනි, බොහෝ වසර ගණනක් පැරණි ගඬුවක් (සැරව ගලන තුවාලයක්) යම් සේ වේද,එපරිද්දෙන් ම මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

මහණෙනි, සැරව ගලන තුවාලය යනු සතර මහා භූතයින්ගෙන් හටගත්, මව් පියන්ගේ එක් වීමෙන් සම්භවය වූ, බත් මාළුපිණි ආදියෙන් වැඩෙන, අනිත්‍ය වූ ස්වභාව ඇති, ඉලීම් පිරිමැදීම් ආදියෙන් පවත්වාගත යුතු, වහා බිඳී යන ස්වභාව ඇති මේ කයට නමකි. මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.

එම නිසා මහණෙනි, මේ කය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙන්න.”

                                                                                                            (ගණ්ඩෝපම සුත්ත – අ.නි.)

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අතිශය සෝභමාන වූ සම්බුදු සිරුරකට උරුමකම් කියූ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ මේ ශරීරයේ සැබෑ ස්වභාවයයි. මෙලෙසින් සත්‍යය තත්වය දකින්නට උන්වහන්සේ තම ශ‍්‍රාවකයන්ව පවා යොමු කරන ලද්දේ කාගේත් දෑස් අරවන අන්දමිනි.

වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.

“වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී,යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”

                                                                                                                    (වක්කලී සූත්ත – ස.නි.)
අනාවරණ ප‍්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට ඇති එකම මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තම ශ‍්‍රාවකයන්ව මැනැවින් හික්ම වූ අන්දම සැබැවින් අසිරිමත් ය. ඒ සොඳුරු දහම සාක්ෂාත් කළ උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලා ද කය දෙස බැලූවේ ලෝකයේ සාමාන්‍ය ජනයා දකින ආකාරයකින් නොවේ. අවිද්‍යා මෝහාන්ධකාරය සිඳබිඳලා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරුන්ගේ අවබෝධය දෙස මොහොතක් නෙත් යොමා බලන්න.

“එම්බා ඇටසැකිල්ලකින් කරවන ලද කුටියක් ඇති තැනැත්තිය, මස් නහරින් මසා දැමූ සිරුරක් ඇති කාන්තාව, අසුචි පිරුණු දුගඳ හමන සිරුරක් ඇති තැනැත්තිය, ඔවැනි ස්වභාවයකින් යුතුව සිට ගෙනද අනුන්ගේ සිරුර දෙස ‘මගේ… මගේ…’ යැයි සිතන තිට නින්දා වේවා!

එම්බා අසුචි පුරවා ගත් මල්ලක් වැනි සිරුරක් ඇති තැනැත්තිය, සමකින් වැසී ගිය සිරුරකින් යුතු තැනැත්තිය, පපුවේ ගෙඩි හදා ගත් තැනැත්තිය, පේ‍්‍රතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුර පුරා නිරන්තරයෙන්ම අසුචි වැගිරෙන තැන් නවයකි.

නව ද්වාරයකින් අසුචි වැගිරෙන තිගේ සිරුර ඉතා දුගඳයි. නිවන් දකින්නට ඇති විශාලම බාධාව ඔබේ ඔය සිරුරයි. නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නට කැමැති භික්ෂුව ඔය අසුචි වළ දුරු කළ යුතුමයි.

මා මේ අසුචියෙන් යුතු සිරුර ගැන දන්නේ දේ වෙනත් කෙනෙක් දන්නවා නම්, ඔහු මේ ස්ත‍්‍රිය බැහැර කරන්නේ වර්ෂා කාලයේදී උතුරා පිටාර ගලන වැසිකිළි වළක් දුරුකරන පරිද්දෙනි.”

                                                                                           (මහා මොග්ගල්ලාන ථේර ගාථා – ඛු.නි.)

මේ ස්වභාවය නොදත් සියල්ලන්ටම සිදුවූයේ ඉමක් කොණක් නොපෙනෙන සසරෙහි සැරිසරන්නටය. සැරිසරමින් දුක් විඳින්නට ය. කෙස් රොදින් පහළටත්, යටි පතුළෙන් උඩටත් සමකින් වට වූ මේ සිරුරෙහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තෝ සසරෙන් එතෙරට වැඩියහ.

එබැවින්….

නුවණ මෙහෙයවා යමක් සිතන්නට හැකි මිනිසත් බව ලද මේ මොහොතෙහි, කල්ප සියයකින් පවා ලබන්නට දුර්ලභ වූ සම්බුදු සසුනක් මුණ ගැසුණු මේ උතුම් මොහොතෙහි, බඹයක් පමණ වූ සිරුරක යථාර්ථය නොදැන, අල්ප වූ ආශ්වාදයකට මුලා වී තවදුරටත් මේ ඝෝර සසරේ අප සැරිසැරිය යුතු නොවේ. නුවණින් විමසා සත්‍යය පසක් කරන්නට තවත් ප‍්‍රමාද වන්නේ කුමටද?

                                                                                                                         - මීරිගම ඉන්දවංශ හිමි

පණ්ඩිතයා හඳුනා ගන්නේ කෙසේද?

*පණ්ඩිතයා හඳුනා ගන්නේ කෙසේද?

         "එයා හරිම පණ්ඩිතයි. අපෝ එයත් එක්ක වැඩක් කරන්න බැහැ. එයා පණ්ඩිත වැඩියි. කියන කිසි දෙයක් අහන්නේ නෑ. පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බැහැ" ආදී ලෙස සාමාන්‍යයෙන් පණ්ඩිතයා පිළිබඳ අප කතා කරයි. එක් එක් පුද්ගලයා පිලිබඳ ඒ අනුව විග්‍රහ කරයි. එත් ඇත්තටම පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව නිවැරදි වැටහීමක් අපට තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. සාමාන්‍ය විග්‍රහයේදී අප පණ්ඩිතයකු ලෙස හඳුනා ගන්නේ කියන දෙය නොඅසන, තනි මතයට වැඩ කරන, අන් අය සමග සුහදශීලී ලෙස වැඩ කළ නොහැකි, හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්වය. එසේ වුවත් බුදුදහම පණ්ඩිතයා පිළිබඳව සාකච්ඡා කරන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ අර්ථ විග්‍රහයකිනි. සාමාන්‍යයෙන් අප වටහා ගෙන ඇති ස්වරූපයට වඩා වෙනස් ලෙසිනි. ඒ නිසා මෙහිදී උත්සහ කරන්නේ බුදුදහමට අනුව පණ්ඩිතයා පිලිබඳව කෙටි විමසීමක් සිදු කිරීමටයි. පණ්ඩිතයාගේ ලක්ෂණ හා ඔහුගේ ස්වරූපය පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතයෙහි බාල වග්ගයෙහි කරුණු ගණනාවක් දැක්වෙයි. එනම් :-
  •  යහපත් සිතිවිලි සිතයි.
  •  යහපත් වචන කතා කරයි.
  •  යහපත් දේ සිදුකරයි.
  •  වරද වරද වශයෙන් දකියි.
  •  වරද වරද වශයෙන් පෙන්වා දුන් විට පිළිගනියි.
  •  වරද වරද වශයෙන් පිළිගෙන ඊට නිසි පිළියම් සිදු කරයි.
  •  නුවණින් ප්‍රශ්න අසයි.
  •  අර්ථවත් ලෙස අනුන් විසඳූ විසඳුම පිළිගනියි.
  •  උවදුරු රහිත වෙයි.
  •  බිය රහිත වෙයි.
  •  විපත් රහිත වෙයි. යනුවෙනි.
        ඒ වගේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහිද පණ්ඩිතයා යනු කවරෙක්ද යන්න පිළිබඳව කරුණු දැක්වේ. ඒ මේ ආකාරයෙනි.
  •  ශ්‍රද්ධාවන්ත වේ.
  •  ශීලවන්ත වේ.
  •  පවට ලැජ්ජා වෙයි.
  •  පවට බිය වෙයි.
  •  වීර්යවන්ත වෙයි.
  •  බොහෝ කුසල් රැස්කරන්නෙක් වේ.
        එමෙන්ම ධම්මපදයෙහි බාලවග්ගයේ සඳහන් වන්නේ යම් පුද්ගලයකු තමාගේ අනුවණකම දන්නේ නම් ඒ තැනැත්තා පණ්ඩිතයකු බවයි. (යො  බාලො ම[a[ති බාල්‍යං - පණ්ඩිතො වාපි තෙන සො)
    මේ අනුව බුදුදහම පණ්ඩිතයා පිළිබඳව විග්‍රහ කරන්නේ සාමාන්‍ය අර්ථ විග්‍රහයෙන් පරිබාහිරව බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. ඒ වගේම විභාග සමත් කළ පමණින්ම පුද්ගලයකු පණ්ඩිතයකු නොවන බවද තේරුම් ගත යුතුය. ඒ නිසා පිළිවෙත් සරු නැණ ගුණයෙන් යුතු පුද්ගලයාම පණ්ඩිතයකු බව වටහා ගත යුතු වේ.
                                                                                          -ශාස්ත්‍රපති පූජ්‍ය උඩබද්දාවේ අස්සජී හිමි

මළමිනියක් හා දෙව්දුවක හා ජීවත් වෙනවාද?

*යුග දිවියට බුදුදහමින් උපදෙස්    මළමිනියක් හා       දෙව්දුවක හා     ජීවත් වෙනවාද?           බෞද්ධ සාහිත්‍යයේ මෙබදු සි...